කොවිඩ්-19 අවදානම මැද වුවත් නිෂ්පාදන අංශය ඇතුළු සමාගම් රැසක වටිනාකම් ඉහළට

අද දිනයේදී (ඔක්තෝබර් 29) සිදුවුණු කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු හරහා පෙර දිනයේ වෙළෙඳ පොළ තුළ පැවැති පාඩුලැබීම් අකාමකාදැමීමක් සිදු වුණු බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි. විශේෂයෙන්ම ෂෙව්රොන් සහ ටෝකියෝ සමාගම් මෙන්ම ෂෙව්රොන් ලාභාංශ හරහා ඇති වූ ආකර්ෂණීය ඉපැයීම් මේ සඳහා දායකත්වය ලබා දී තිබේ.

කෙසේ වෙතත්  රට තුළ මෙන්ම ලෝකය තුළත් ඉහළ යමින් පවතින කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳ අවදානමද තවදුරටත් වෙළෙඳ පොළ වෙත බලපෑම් ඇති කරමින් තිබෙන බවත් තැරැව්කාර සමාගම්  පවසයි. කෙසේ වෙතත් ඊයේ දිනයේ පස්වරුවේදී නිෂ්පාදන අංශයද ඇතුළුව ඇතැම් සමාගම් තුළ කොටස් වටිනාකම් ඉහළ යාමක් සිදුවිය.      

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,613.93ත් ඒකක 5,747.65ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,726.59 ක් බවට පත්විය. ඊයේ (ඔක්තෝබර් 28) දිනයට සාපේක්ෂව එය ඒකක 126.39 ක් එනම් +2.26%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව සිදුවුණු  ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ගනුදෙනුව පිරිවැටුම සඳහා 10% ක දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 172ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 19ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී  CTC (+6.49), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (+5.13), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+4.94),  ඔල්ඕඑල්සී පීඑල්සී LOLC (+4.8), වැලිබල් වන් පීඑල්සී VONE (+3.99), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (-0.96), ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී ASPH (-0.86),  බ්‍රවුන්ස් බීච් හොටෙල්ස් පීඑල්සී BBH (-0.15),  මහවැලි කොකනට් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී MCPL (-0.13)  සහ  ජෙට්වින්ග් සිම්ෆනි පීඑල්සී JETS (-0.12) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,282.20 ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 28) දිනයට සාපේක්ෂව ඒකක 43.23 ක එනම් -1.93%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.64ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක් 28දා) වාර්තා කළ රුපියල් බිලියන 1.25ට සාපේක්ෂව 31%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.49ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 12.52%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 29.63ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 497.26 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 467.6 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 45.22ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඒසීඑල් කේබල්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 4.13කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 216.24ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 708ක් සඳහා නිෂ්පාදන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 43% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ප්‍රවාහන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 325ක සහ රුපියල් මිලියන 163ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 286