නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සහ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී ඒකාබද්ධවීමට යයි

මෙරට ක්‍රියාත්මක මහ බැංකුවේ ලියාපදිංචි බැංකු නොවන මුදල් සමාගම් දෙකක් වන නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම සහ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඒකාබද්ධවීම සඳහා එකඟතාවකට පත්ව සිටින බව පවසයි.

ඒ අනුව සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙත නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඒකාබද්ධ කිරීම සඳහා කැමැත්ත පළ වී තිබෙන බව සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් නිවේදනය කර සිටියි.

මෙහිදී අදාළ ඒකාබද්ධවීමේ යෝජනාව අදාළ සමාගම් දෙකෙහි වටිනාකම් තක්සේරු කිරීම් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලබා දෙන අනුමැතියෙන් පසුව ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන බව සමාගම් දෙකම  සඳහන් කරයි.

“නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සහ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම් අතර මෙම යෝජිත ඒකාබද්ධවීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනිවාර්යය කර තිබෙන බැංකු නොවන මුදල් සමාගම් පවත්වාගත යුතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් පූර්ණය කිරීමට හැකියාව ලැබෙන බව සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ අදහස වී තිබේ.”

මේ අතර අදාළ ඒකාබද්ධවීම සම්බන්ධව ඉදිරි තොරතුරු පිළිබඳව නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සහ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී කොටස්හිමිකරුවන් මෙන්ම හවුල්කරුවන්ද දැනුවත් කරන බවත් සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩල වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මහ බැංකුවේ නියමය අනුව 2020 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට මෙම  බැංකු නොවන මුදල් සමාගම් හි මූලික ප්‍රාග්ධනය රුපියල් බිලියන 2ක් බවට පත්විය යුතු අතර, 2021 දෙසැම්බර් අවසන් වනවිට එය රුපියල් බිලියන 2.5ක් විය යුතුය.

මෙරට මුල් පෙළේ ආයෝජන පර්යේෂණ ආයතනයක් වන ෆර්ස්ට් කැපිටල් රිසර්ච් සමාගම පසුගියදා සිදුකළ අනාවරණයකට අනුව, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෙන්ම සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම් මෙම ප්‍රාග්ධන අවශ්‍යතාව සැපිරීමෙන් අනාරක්ෂිත කලාපයේ පසුවෙයි.  අනාරක්ෂිත කලාපයේ පසුවන මූල්‍ය සමාගම් සතුව පවතින්නේ රුපියල් බිලියන -0.1 සිට රුපියල් බිලියන 2.3ක් දක්වා වූ මූලික ප්‍රාග්ධනයකි. 

පෙර ලිපි
මූල්‍ය සමාගම්හි ඉදිරි පැවැත්මට 2021 වනවිට රු. බිලියන 20ක් අවශ්‍යයි – ෆර්ස්ට් කැපිටල් රිසර්ච්

Visits: 520