අරෝෂ ප්‍රනාන්දු වැඩ අරඹයි – රු.මිලියන 858ක කුරුණෑගල මාර්ග ව්‍යාපෘතිය MTD Walkers PLC වෙත

MTD Walkers PLC සමාගමේ පරිපාලිත සමාගමක් වන CML MTD Constructions සමාගම විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක කටයුතු ආරම්භ කර ඇතැයි පවසයි. මෙම ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් මිලියන 858කි.

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 9.5ක මාර්ගයක් ඉදිකිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නගරසභාවේ විපක්ෂ නායක විජයනානන්ද වෙදිසිංහ, කුරුණෑගල නගරසභා මන්ත්‍රී චූලා මෙන්ඩිස්, මාර්ග සහ අධිවේගී මාර්ග අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් දක්ෂිත ලංකාතිලක, MTD Walkers PLC හි සමූහ අධ්‍යක්ෂ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, MTD Walkers PLC හි ජ්‍යෙෂ්ට සාමාන්‍යාධිකාරී ලක්මාල් ගුණරත්න, MTD Walkers PLC හි සාමාන්‍යාධාකාරී (මූල්‍ය) අචල කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී ඇත.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති MTD Walkers PLC හි සමූහ අධ්‍යක්ෂ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා, “ආසන්න කාලසීමාවේදී අපි රුපියල් බිලියන 10ක් පමණ වටිනා මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් හිමි කරගැනීමට සමත්ව තිබෙනවා. කුරුණෑගල වටරවුම් පාර ඒ අතරින් පළමු ව්‍යාපෘතියයි. මෙයට අමතර ගොඩනැගිලි, ජල, විදුලි බල, වාරිමාර්ග ඇතුළු නව ව්‍යාපෘති රැසක්ම අපගේ සමාගම වෙත  හිමිව තිබෙනවා.” යනුවෙන් පවසා සිටියි.

මේ අතර එම අවස්ථාවට සහභාගිවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම වෙත අදහස් දක්වා ඇති අචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා, “රට හදන සෞභාග්‍යයේ දැක්ම කිලෝමීටර් ලක්ෂයක මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහන  යටතේ මහා මාර්ග කැබිනට් අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමන්ගේ උපදෙස් පරිදි, යන්තම්පලාව හංදිය, පුවක්ගස් හංදිය, කදුරුගස් හංදිය, ගැට්ටුවාන හංදිය, මුත්තෙට්ටුගල හංදිය සහ වැව රවුම මාර්ගයේ සංවර්ධන කටයුතු අද දින කුරුණෑගල ගරු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මැතිතුමාගේ ප්‍රධාන්තයෙන් ආරම්භ විය.” යනුවෙන් සඳහන් කර තිබේ.

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා විසින් හිමි සීමාසහිත ලක්මා හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මගින් පසුගිය අගෝස්තු මාසයේදී MTD Walkers PLC සමාගම මිලදී ගැනීමත් සමගින්ම ඔහු එම සමූහයේ අධ්‍යක්ෂවරයා බවට පත්විය. මෙම MTD Walkers PLC සමාගම මැලේසියාවේ MTD Capital BHD සමාගම වෙත හිමිව පැවතුණි.

පෙර ලිපි
එම්.ටී.ඩී. වෝල්කර්ස් පීඑල්සී මිලදී ගැනීමට ලක්මා හෝල්ඩිංග්ස් එකඟතාවක

Views: 850