ඕමාන් එයාර් කොළඹ වෙත යළිත් සිය ගුවන් ගමන් අරඹයි

ඕමානයේ ජාතික ගුවන් සේවය වන ‘ඕමාන් එයාර්’ ගුවන් සේවය ඊයේ (ඔක්තෝබර් 25) දිනයේ සිට ශ්‍රී ලංකාව වෙත කාලසටහන්ගත ගුවන් ගමන් යළි ආරම්භ කරන බව ප්‍රකාශ කරයි. මීට අමතරව ක්වේටය සහ බහරේනය වෙතත් එම ගුවන් සේවය සිය සේවා ආරම්භ කර තිබේ. ඒ අනුව සතිපතා ගුවන් ගමන් වාර දෙකක් ඕමානයේ සිට කොළඹ වෙත පියාසර කරන බව එම ගුවන් සමාගම සඳහන් කරයි.

මෙම ගුවන් ගමන් පිළිබඳ වැඩි දුර තොරතුරු සඳහා omanair.com වෙබ් අඩවිය වෙත පිවිසෙන ලෙසත්, එසේත් නැත්නම් එම සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානයේ නිලධාරීන් හෝ සංචාරක නියෝජිතවරුන් හරහා මෙම ගුවන් ගමන් පිළිබඳ තොරතුරු ලබා ගත හැකි බවත් ගුවන් සේවය පවසයි.

විශේෂයෙන්ම නව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිය ගුවන් පියාසැරි පවත්වාගෙන යන බව සමාගම සඳහන් කරයි. එහිදී ඕමාන් එයාර් ගුවන් යානය තුළදී මෙන්ම ඕමාන ගුවන් තොටුපොළ තුළදීද මගීන් මුඛ ආවරණ පැළැදීම අනිවාර්යය වී තිබේ. එසේම ගුවන් යානයට ගොඩවීමේදී සහ ඉන් පිටවීමේදී අවශ්‍ය පරතරය තබා ගැනීමත් වැදගත් වෙයි.

ගුවන් යානවල සෞඛ්‍යාරක්ෂිත බව ආරක්ෂා කිරීම සඳහා සෑම ගුවන් පියාසැරියක් සහ දිනයක් අවසානයේදීම එම ගුවන් යානා ඉතා ප්‍රවේශමෙන් පිරිසිදු කරන බවත් සමාගම පවසයි. එසේම ගුවන් යානාවල සියලුම කාර්ය මණ්ඩලය අංග සම්පූර්ණ ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇඳ සිටින බවත්, ආහාර පිළිගැන්වීමත් උපරිම සෞඛ්‍ය ආරක්ෂාව ලැබෙන ලෙස සිදු කිරීමට කටයුතු කර ඇත. මීට අමතරව ගුවන් යානයේ සියලුම මගීන්ගේ මෙන්ම කාර්ය මණ්ඩලයේද ආරක්ෂාව වෙනුවෙන් අනෙකුත් ආරක්ෂිත පියවර ගැනීමට සෑම අවස්ථාවේදීම කටයුතු කරන බවත් ගුවන් සමාගම පවසා සිටියි.

Visits: 66