‘සැලසිනේ’ සීමිත වගකීම් සහිත සමාගමක් ලෙස සංස්ථාපනය කිරීමට යයි

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රජයේ රූපවාහිනි වැඩසටහන් සහ දැන්වීම් නිෂ්පාදන ආයතනය වන ‘සැලසිනේ’ රූපවාහිනි ආයතනය ඉදිරියේදී සීමිත වගකීම් සහිත සමාගමක් ලෙස සංස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇතැයි රජය පවසයි.

ඊයේ (ඔක්තෝබර් 20) පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි. ඊට අදාළ යෝජනාව ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබේ.

මේ අතර 2020 සැප්තැම්බර් මස 09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹි තීරණය අනුව, සැලසිනේ රූපවාහිනී ආයතනය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වෙනම වාණිජ ඒකකයක් වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අනුයුක්ත කිරීම පිණිස අනුමැතිය ලබා දී තිබුණි.

එහෙත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සහ සැලසිනේ ආයතනයේ වාණිජ පරමාර්ථයන් එකිනෙකට වෙනස් බැවින් ජනමාධ්‍ය ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද වැඩිදුර කරුණු සැලකිල්ලට ගෙන සැලසිනේ රූපවාහිනී ආයතනය සීමිත වගකීම් සහිත සමාගමක් ලෙස සංස්ථාපනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන් බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි.

“රාජ්‍ය යාන්ත්‍රණයේ සංවර්ධන හා මෙහෙයුම් සහ සියලු ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනයන් නිර්මාණාත්මක සන්නිවේදනය කිරීම තුළින් ප්‍රචාරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීම” එම ආයතනයේ දැක්මයි. 

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනි නිෂ්පාදන ආයතනය ලෙස 1982 පෙබරවාරි 02 වැනිදා එවකට පැවැති ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ අමාත්‍යාංශය යටතේ ‘සැලසිනෙ’ රූපවාහිනි ආයතනය ස්ථාපනය කර තිබේ. එහි නිර්මාතෘවරයා වන්නේ ආචාර්ය වික්‍රම වීරසූරිය මහතායි.

එවක ක්‍රියාත්මක වූ ‘මහවැලි කඩිනම් සංවර්ධන වැඩසටහන’ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙම ආයතනයේ මූලික අරමුණ විය. ඉඩම්, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය දැව සංස්ථාව මෙම ප්‍රචාරණ ක්‍රියාවලිය සඳහා මානව හා මූල්‍ය සම්පත් ලබා දී තිබේ.

1988 වර්ෂයේදී විශේෂ ගැසට් නිවේදනයක්  යටතේ ‘සැලසිනෙ’ ප්‍රතිපත්ති සහ සැලසුම් අමාත්‍යාංශය යටතේ දියත් කරන ලද ‘ජනසවිය’ වැඩසටහනේ ප්‍රචාරක කටයුතුද අත්පත් කරගෙන තිබේ. 1994 දී යෙූවන කටයුතු, ක්‍රීඩා හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගෙන ඇති ‘සැලසිනෙ’ ආයතනය ඉන්පසු 1999දී තැපැල්, විදුලි සංදේශ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය. එසේම 2001 වසරේ සිට ‘සැලසිනෙ’ ආයතනය ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ විෂය පථයට පවරා තිබේ.

Views: 50