ප්‍රයිම් ලෑන්ඩ්ස් තමන් සතු ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සීහි කොටස් 17,522ක් විකුණයි
ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ හිමිකාරීත්වය සහිත ප්‍රයිම් ලෑන්ඩ්ස් (පෞද්) සමාගම තමන් සතුව තිබූ ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් අතරින් කොටස් 17,522 ක් පසුගිය දින තුනේදී අලෙවි කර ඇතැයි පවසයි.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් 12 වැනිදා කොටස් 5000ක් කොටසක් රුපියල් 17 බැගින්ද, කොටස් 11,502ක් කොටසක් රුපියල් 17.50 බැගින්ද අලෙවි කර ඇත. එසේම 13 වැනිදා කොටස් 2ක් රුපියල් 17 බැගින්ද, 14 වැනිදා කොටස් 1,018ක් රුපියල් 17 බැගින්ද අලෙවි කළ බව ප්‍රයිම් ලෑන්ඩ් (පෞද්) සමාගම සඳහන් කරයි. ඒ අනුව මෙම අලෙවියේ සම්පූර්ණ වටිනාකම රුපියල් 1,992,235 කි.
මෙහිදී ප්‍රයිම් ලෑන්ඩ්ස් (පෞද්) සමාගම සහ ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂවරුන් වන බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් (ස්වාධීන නොවන/විධායක නොවන අධ්‍යක්ෂ), එච්.කේ.එස්.ආර්. පෙරේරා (විධායක අධ්‍යක්ෂ, පී.ඒ.ඩබ්ලිව්. පෙරේරා (ස්වාධීන නොවන/විධායක නොවන අධ්‍යක්ෂ), කේ.ඩී.එස්. ප්‍රනාන්දු (විධායක අධ්‍යක්ෂ), ආර්. රන්දෙනිය (විධායක අධ්‍යක්ෂ) යන පිරිස් මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව වෙත දන්වා සිටින බවත් ප්‍රයිම් ෆිනෑන්ස් සමාගම සඳහන් කරයි.
ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සීහි 2019/2020 වාර්ෂික වාර්තාවට අනුව එහි කොටස් හිමිකමින් 94.60%ක ප්‍රතිශතයක් දරනු ලබන්නේ සෙලාන් බැංකුව පීඑල්සී/ප්‍රයිම් ලෑන්ඩ්ස් (පෞද්) සමාගම යන එකතුවයි. එහිදී කොටස් 74,926,029කට ඔවුන් හිමිකම් කියයි.
මේ අතර ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සීහි සමාගම කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් ලෙස පවත්වාගත යුතු අවම මහජන හිමිකාරීත්ව අවශ්‍යතාව සැපිරීම සඳහා එහි ප්‍රධානතම කොටස් හිමිකරුවා ලෙස ප්‍රයිම් ලෑන්ඩ්ස් (පෞද්) සමාගම තමන් සතු හිමිකාරීත්වය කොටස් හිමිකම් නිකුත්වක් හරහා බෙදා හැරීමටත් එකඟවී ඇති බව 2020 පෙබරවාරි මාසයේදී නිවේදනය කළ බවත් මෙම වාර්ෂික වාර්තාව තුළ සඳහන් කර තිබේ.

Hits: 551