සැප්තැම්බරයේදීත් අපනයන ආදායම බිලියනය ඉක්මවයි

මෙරට මගින් සිදු කළ භාණ්ඩ අපනයනය පසුගිය සැප්තැම්බර් මාසයේදීත් එක්සත් ජනපද ඩොලර් බිලියනයේ සීමාව පසු කිරීමට සමත් වූ බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ඒ අනුව වසරේ මේ දක්වා මාස තුනක කාලයකදී අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවා ඇතැයි සඳහන් වෙයි.

සැප්තැම්බර් මාසය සඳහා වන රේගු සංඛ්‍යා දත්ත අනුව භාණ්ඩ අපනයනය හරහා උපයා ගෙන ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් 1,001.27 කි. එය 2019 වසරේදී උපයා ගත් ඩොලර් මිලියන 952.1ක භාණ්ඩ අපනයනය ආදායම හා සැසඳීමේදී 5.16%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය හමුවේ දේශීයව මෙන්ම ගෝලීයවත් පැනවූ සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීමකට ලක් කිරීම මේ ශක්තිමත් ප්‍රතිඵල හරහා පෙන්නුම් කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසා සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා, “සැප්තැම්බර් මාසයේදීත් ඩොලර් බිලියනයක අපනයන ආදායමක් ලබා ගැනීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා. එහිදී අපනයන ප්‍රජාව වෙත, අපගේ අපනයන ක්ෂේත්‍රයේ සිටින ව්‍යාපාරිකයන් සහ සියලුම සේවකයන් වෙත මම මගේ ආචාරය පුද කරනවා. මේ වසරේදී අප භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියනක ආදායමක් වාර්තා කළ තෙවැනි අවස්ථාව මෙයයි.” යනුවෙන් පවසා සිටියි.

කෙසේ වෙතත් වර්තමානයේ දී උද්ගතව පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මතුව තිබෙන තත්ත්වය බලපෑම් සහගත බවත්, ඉදිරියේදී ව්‍යාපාරික ප්‍රජාවට යම් ස්ථාවර මට්ටමකින් කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් හෙතෙම පවසයි.

මේ වසරේ  සැප්තැම්බර් මාසයේ අපනයන දත්ත අනුව යුරෝපා කලාපය වෙත සිදු කළ භාණ්ඩ අපනයනය පසුගිය වසරේ සැප්තැම්බර් හා සැසඳීමේදී 20.19%කින් ඉහළ ගොස් ඇත. එසේම රුසියාව ඇතුළුව ඉපැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ Commonwealth of Independent States කලාපය වෙත 19.5%ක වර්ධනයක්, අප්‍රිකානු කලාපය වෙත 56.4%ක වර්ධනයක්ද පෙන්නුම් කර තිබේ.

එසේම 2020 අගෝස්තු මාසයේදී උපයා ගත් භාණ්ඩ අපනයනය ආදයම හා සැසඳීමේදී 2020 සැප්තැම්බර් මාසයේදී එය 5.65%කින් ඉහළ නැග තිබේ.

Views: 312