පාඨක තේරීම් අතර ලොව ප්‍රමුඛතම ගුවන් සමාගම් අතරට ශ්‍රී ලංකන් එක්වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය Conde Nast Traveller 2020 පාඨක තේරීමෙන් ලොව ප්‍රමුඛතම ගුවන් සමාගම් අතරට එක්වීමට සමත්ව ඇතැයි එම ගුවන් සමාගම පවසයි. ඒ අනුව ලොව විශිෂ්ටතම ජාත්‍යන්තර ගුවන් සමාගම් සම්බන්ධව සිදු කරන ලද සමීක්ෂණයේදී හය වැනි ස්ථානය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හිමිව ඇත.

මෙහිදී පාඨකයින් විසින් ගුවන් සමාගමේ සුවපහසු ව්‍යාපාරික පන්තියේ ආසන, සුහදශීලී ගුවන් කාර්ය මණ්ඩලය හා රසවත් ආහාර පාන සම්බන්ධයෙන් ප්‍රශංසා සිදු කරමින් සිය මනාපය ලබා දී ඇතැයිද එම සමාගම සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙම කාණ්ඩය යටතේ ජයග්‍රාහකයන් තෝරා ගැනීමේදී සලකා බලන ලද සාධක වූයේ සාමාන්‍ය ගුවන් ගමන්වලදී ගුවන් සමාගම් විසින් ගනු ලැබූ සෞඛ්‍යාරක්ෂිත බවත, ආරක්ෂාව සහ වර්තමාන තත්ත්වය තුළ දැනුවත්භාවය උදෙසා ගුවන් සමාගම් විසින් සිදු කරනු ලැබූ අලෙවිකරණ  වැඩසටහන් යනාදියයි.

Conde Nast Traveller 2020 පාඨක සම්මාන සමීක්ෂණය ආරක්ෂිත වෙබ් අඩවියක් හරහා සිදු කරන ලද අතර, මේ වසරේ ප්‍රතිඵල ලබා ගැනීම 2020 අප්‍රේල් 01 දා සිට 2020 ජූනි 30 දක්වා කාලය සලකා බලා තිබේ. එහිදී ලක්ෂ සංඛ්‍යාත ප්‍රතිචාර දැක්වූවන්ගෙන් මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කර තිබේ.

Conde Nast Traveller  යනු සුඛෝපභෝගී සහ ජීවන රටා සම්බන්ධයෙන් ලොව පිළිගත් සංචාරක සඟරාවක් වන අතර, එය Conde Nast විසින් ප්‍රකාශයට පත් කරයි. මෙම සඟරාව වර්ෂ 1909 දී Conde Nontrose විසින් ආරම්භ කරන ලද්දක් වන අතර එහි අයිතිය Advance Publications සතුවෙයි. එහි මූලස්තානය නිව්යෝර්ක්හි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටා ඇත. මෙම සඟරාව ජාතික සඟරා සම්මාන 25ක් දිනා ගෙන තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයින ඇතුළු කලාපයේ ගමනාන්ත වෙත සංචාරකයන්ගේ ඉහළම තේරීමක් වන බව ගුවන් සේවය සම්බන්ධයෙන් මෙම සඟරාවේ අදහස වී තිබේ. එසේම ගුවන් යානා 26කින් යුත් විශාලතම විදේශීය ගුවන් සේවයක් ලෙස මෙහෙයුම් සිදු කරමින් පහසුකම් සලසන අතරම, වන් වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකත්වය නිසාම එය සංචාරකයන් අතර ඉතා හොඳ තේරීමක් වී ඇති බවත් සඟරාව සඳහන් කර ඇත.

Visits: 60