දයා ගමගේගේ බෑණාත් බ්ලූ ඩයමන්ඩ් ජුවලරි පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයට

බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී (Diamonds Jewellery Worldwide PLC) සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස සන්නාමකරණයේ විශේෂඥයන් දෙදෙනකු වන ඇඩම් බෘකර් සහ ඉර්ෆාන් සාදික් යන මහත්වරුන් පත් කරගැනීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු යොදා ඇතැයි පවසයි.

ඒ අනුව ඉන් ඇඩම් බෘකර් ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් ඉර්ෆාන් සාදික් ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසත් පත්වීම් ලැබ තිබේ.

මෙම පත්වීම සිදුකරන අවස්ථාව වනවිට බෘකර් මහතා සතුව බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සීහි සාමාන්‍ය කොටස් 1,947,299ක හිමිකමක් පවතින බවත්, ඊට අමතරව තවත් සාමාන්‍ය කොටස් 36,648,472ක සහ සාමාන්‍ය නිශ්ඡන්ද කොටස් 3,216,900ක් ද ඒ මහතා සතුව පවතින බවත් සමාගම සඳහන් කරයි.

එහෙත් ඉර්ෆාන් සාදික් සතුව මෙම පත්වීම ලබන මොහොත වන විට සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැත.

මේ අතරින් ඇඩම් බෘකර් බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සීහි තනි විශාලතම කොටස් හිමිකරුවා වන ප්‍රමෝද්‍යා මංජරී කිලිට්ටුව ගමගේ මහත්මියගේ ස්වාමිපුරුෂයාද වෙයි. ඇය මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික, දේශපාලනඥ දයා ගමගේ මහතාගේ දියණියද වෙයි. ඇය සතුව ඇති බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සීහි කොටස් ප්‍රතිශතය 17.25% කි.

ඇයට අමතරව ඇගේ සහෝදරයා එනම් දයා ගමගේ මහතාගේ පුත්‍රයා වන චාමින්ද්‍ර කිලිට්ටුව ගමගේ මහතාද මේ වන විට බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සීහි විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. ඔහු දයා ගෘප්හි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන අතර බිම්පුත් ෆයිනෑන්ස් පීඑල්සීහි සාමාන්‍යාධිකාරී/විධායක අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරයි.

මෙලෙස බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සීහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් වූ ඇඩම් බෘකර් එක්සත් රාජධානියේ ඩර්හැම් විශ්වවිද්‍යාලයෙන් ආර්ථිකවිද්‍යාව පිළිබඳව ගෞරව උපාධියකි  හිමි කරගෙන ඇත. එසේම ඔහු ලන්ඩන් නුවර සහ ශ්‍රී ලංකාව තුළ වසර හයක කාලයක් ජ්‍යෙෂ්ට ක්‍රමෝපායික සහ ඩිජිටල් සන්නාම විශේෂඥයෙකු ලෙස කටයුතු කර ඇත.

මීට පෙර ඒ මහතා නිව්ස් කෝපරේෂන් සහ ඕෂන් ස්ට්‍රැටජි යන සමාගම්හි සාංගමික ව්‍යපාර සංවර්ධන සහ ක්‍රමෝපායික උපදේශන සේවා ලබා දී තිබේ. 2016 වසරෙන් පසුව ඔහු ශ්‍රී ලංකාව තුළ කටයුතු ආරම්භ කර ඇත. එහිදී MAS Innovation හි මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත්වීම් ලබන ඔහු යළිත් වරක් එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් නිවාස දේපළ බදු ඔප්පු ලිවීමේ ව්‍යාපාරයක් වන Muve හා සම්බන්ධ විය. මේ වනවිට ඔහු පූර්ණකාලීනව එහි ගෝලීය මෙහෙයුම්හි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. එසේම ඔහු Muve Colombo හි සම නිර්මාතෘවරයාද වෙයි. අද වනවිට මෙම සමාගම මගින් උපදේශන සහ ක්‍රමෝපායික සහ නවෝත්පාදන සේවා සැපයීම සිදු කරයි.

ඉර්ෆාන් සාදික්

බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී වෙත පත්වූ අනෙක් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඉර්ෆාන් සාදික් වසර 10කට අධික කාලයක් ඩුබායි හි ඩමාස් ජුවලරි ආයතනයේ සන්නාම කළමනාකරු ලෙස කටයුතු කර තිබේ. එසේම ඔහු මේ වනවිට ප්‍රෙස්ටීජ් වෙන්චර්ස් ලංකා ලිමිටඩ් සමාගමේ සහ සිලෝන් එක්ස්පෝර්ට් හවුස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි. ඊට අමතරව ඔහු සොලිටෙයාර් සෝලාර් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් හි මෙරට කළමනාකාර/උපදේශක ලෙස කටයුතු කරයි.

මෙම පත් කිරිමත් සමගින්ම බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සීහිනව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන්නේ සභාපති සුදත් එස් ජයසුන්දර, ප්‍රමෝද්‍යා මංජරී ගමගේ, තිෂ්‍යා වික්‍රමසිංහ, චාමින්ද්‍ර ගමගේ, කලුගල විදානලාගේ අමිල සන්ජීව, ඇඩම් බෘකර් සහ ඉර්ෆාන් සාදික් යන මහත්ම මහත්මීන්ය.

Visits: 558