මූල්‍ය සමාගම් නියාමනයට නව ආයතනයක් පිහිටුවීමට යයි

මෙරට තුළ ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක් සකස් කිරීම සඳහා ජනපතිවරයාගේ උපදෙස් පිට මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇතැයි අද පෙරවරුවේදී පැවැත්වුණු කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි.

දැනට මෙම මූල්‍ය සමාගම් අධීක්ෂණය හා නියාමනය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් පෙන්වා දී ඇති කරුණු සලකා බලා මෙම තීරණය ගෙන ඇතැයි මේ පිළිබඳව කරුණු සඳහන් කරමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියේය.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම (ETI) සම්බන්ධයෙන් සිදු වූයේ යැයි කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා, අයථා ක්‍රියා විමර්ෂණය කිරීම, පරීක්ෂා කිරීම හා වාර්තා කිරීම සඳහා පත් කෙරුණු ජනපති කොමිසම මගින් මේ පිළිබඳව ජනපතිවරයා වෙත පසුගියදා කරුණු ඉදිරිපත් කර තිබේ.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ජනාධිපති කොමිසම පසුගියදා සිය වාර්තාව ජනපතිවරයා වෙත ඉදිරිපත් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව එම කොමිෂන් සභා වාර්තාව මඟින් පෙන්වා දී ඇත.

එම කරුණු කෙරෙහි අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරමින් අතිගරු ජනාධිපතිතුමා විසින් මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කර මූල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට දැනුම් දීමට ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ETI සමාගම සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සහ ද ෆිනෑන්ස් සමාගම ඇතුළු මූල්‍ය සමාගම් තුළ අර්බුද ඇති වීම සඳහා මහ බැංකුවේ මෙම දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය හේතු වූ බවට චෝදනාද එල්ල වී තිබේ.

පෙර ලිපි
ද ෆිනෑන්ස් කඩා වැටීමට මහ බැංකුව වගකිව යුතුයි – අගමැති මහින්ද
මෙරට මූල්‍ය සමාගම් ගණන 55 සිට 41 දක්වා අඩුවුණේ මහ බැංකුව නිසා

Views: 717