කැලනි වැලි සහ තලවාකැලේ වාර්ෂික වාර්තා තිරසාර සම්මාන ලබයි

හේලීස් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගම් දෙකක් වන කැළනි වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ තලවාකැලේ ටී  එස්ටේට්ස් පීඑල්සී යන සමාගම් දෙක මගින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තා Hallbars Sustainability Report Awards 2020 සම්මාන උළෙලේදී ජයග්‍රහණ හිමි කරගැනීමට සමත්ව ඇතැයි  පවසයි.

ඒ අනුව කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී මගින් 2017/2018 වසර සඳහා ‘Growth Beyond Measure’ ලෙස ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාව ව්‍යාපාරික අංශයේ නිෂ්පාදන යටතේ තේ කාණ්ඩයෙන් ජයග්‍රහණය  ලබා ඇත. එසේම තලවාකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී සමාගම මගින් 2018/2019 වසර සඳහා ‘Cultured’ නමින් ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාව හොඳම තිරසාරත්ව වාර්ෂික වාර්තා නිර්මාණයට හිමි සම්මානය දිනා ගෙන තිබේ.

තිරසාරත්වය ඇති කිරීම සඳහා වන ජාත්‍යන්තර උත්සාහයන් තවදුරටත් ධෛර්යමත් කිරීම සහ ඒවා ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකාවක් ලෙස මෙම සම්මාන ප්‍රදානය සකස් කෙරී ඇත. එහිදී සමාජය, පරිසරය සහ මූල්‍ය යන ප්‍රධාන කාරණා තුන පාදක කරගනිමින් සම්පාදන ප්‍රදානය සඳහා වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් විශ්ලේෂණය කෙරේ.

එසේම මෙම තිරසාරත්වය සම්බන්ධයෙන් වන ගෝලීය දායකත්වය තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන්, ජයග්‍රහණය ලබන මෙම වාර්තා ‘නොබෙල් කෞතුකාගාරයේ’ ප්‍රදර්ශනයට තැබෙන බවත් පැවසෙයි. ස්වීඩනයේ කාර්ල්ස්කොගා පිහිටි මෙම කෞතුකාගාරය නවෝත්පාදකයෙකු, ව්‍යවසායකයෙකු, පරිත්‍යාගශීලියෙකු සහ නොබෙල් සම්මානයේ නිර්මාතෘ ඇල්ෆ්‍රඩ් නොබෙල් වෙනුවෙන් වෙන් කර ඇති කෞතුකාගාරයද වෙයි.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වන හේලීස් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා, “ශ්‍රී ලංකාව තුළ තිරසාරත්වය ඇති කිරීම සඳහා වසර ගණනාවකම සිට කටයුතු කරන සමාගමක් ලෙස මෙවැනි පිළිගැනීමක් අත්කර ගැනීමට ලැබීම ගෞරවයක් ලෙස සලකනවා. හේලීස් ප්ලාන්ටේෂන්ස් යටතේ ක්‍රියාත්මක මෙම සමාගම් දෙක වෙතම මෙය සැබෑම ගෞරවයක්. විශේෂයෙන්ම තිරසාරත්වය පිළිබඳව ගෝලීය වශයෙන් පිළිගත් සන්නාම සහ නායකයන් අතරට එකතු වෙන්නට ලැබීම සුවිශේෂී අවස්ථාවක්.” යනුවෙන් සඳහන් කරයි.

මෙහිදී කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම ලොව ප්‍රධාන පෙළේ ගෝලීය සමාගම් වන ඉන්දියාවේ  ටාටා සහ එක්සත් රාජධානියේ ෆින්ලේස් යන සමාගම් සමගින් මෙම සම්මානයට පාත්‍ර වී ඇත. එසේම තලවකැළේ ටී එස්ටේට්ස් පීඑල්සී සමාගම ඔස්ට්‍රියාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, ඉතාලිය සහ නෙදර්ලන්තය යන රටවල් සමගින් මෙම සම්මානයට පාත්‍ර වී ඇත.

මේ අතර මෙම ජයග්‍රහණයත් සමගින්ම කැළනිවැළි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ තලවකැළේ ටී එස්ටේට්ස් පීඑල්සී යන සමාගම් වල වාර්ෂික වාර්තා Global Sustainability Awards සම්මාන උළෙල සඳහා අනෙකුත් රටවල් සමගින් එකම කාණ්ඩය යටතේ තරග කිරීම සඳහාද අවස්ථාව උදා කරගෙන තිබේ.

අද වන විට හේලීස් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සතුව පරිපාලිත සමාගම් තුනක් පවතී. කැළනිවැළි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, තලවකැළේ ටී එස්ටේට්ස් පීඑල්සී සහ හොරණ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී එම සමාගම් වෙයි. මෙම සමාගම් තුනම මෙරට තේ සහ රබර් කර්මාන්තය තුළ ඉතා ඉහළ පිළිගැනීමකට ලක්ව සිටියි.

ඒ අනුව මෙම සමාගම් මගින් තේ සහ රබර් වතු 60ක් පමණ කළමනාකරණය කරන බවත්, හෙක්ටයාර 26,137ක භූමියක් පුරා ඒවා ව්‍යාප්තව ඇති බවත් සමාගම පවසයි. එසේම ශ්‍රී ලංකාවේ වාර්ෂික තේ සහ රබර් නිෂ්පාදනය සඳහා පිළිවෙලින් 4.5% ක සහ 2.5% ක දායකත්වයක්ද මෙම සමාගම් මගින් ලබා දෙයි.

Views: 200