චීනයෙන් රුපියල් බිලියන 16.5ක මුදල් ප්‍රදානයක්

මහජන චීන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා එකඟතාව යටතේ ශ්‍රී ලංකාව වෙත යුආන් මිලියන 600ක (රුපියල් බිලියන 16.5ක) ප්‍රදානයක් සිදු කිරීමට කටයුතු යෙදී ඇතැයි චීන තානාපති  කාර්යාලය නිවේදනයක් මගින් පවසයි.

පසුගිය ඔක්තෝබර් 09 වැනිදා ඊට අදාළ එකඟතාවට අත්සන් තබා ඇත. එහිදී චීනය වෙනුවෙන් චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ආයතනයේ (CIDCA – China International Development Cooperation Agency) සභාපති වැන්ග් ෂිආටාඕ සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් අතර මෙම අත්සන් තැබීම සිදුව තිබේ.

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී මහතා පසුගියදා මෙරට සිදු කළ සංචාරයට සමගාමීව මෙම එකඟතාවට පිවිසීමේ අවස්ථාව සංවිධානය වී ඇත.

මෙහිදී ශ්‍රී ලාංකික ජනතාව වෙත ඉතාමත් අත්‍යවශ්‍යව තිබූ මෙම මූල්‍යමය ආධාරය ලබා දීම සම්බන්ධයෙන් චීන ජනතාව වෙනුවෙන් තමන් ස්තූතිය පුදකරන බව ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටින බවත් චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

මෙහිදී අදාළ ප්‍රදානය මෙරට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව, අධ්‍යාපනය සහ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය පානීය ජල සැපයුම් යනාදී අංශ වෙත යොදා ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම අනෝන්‍ය එකඟතාවකට පැමිණ තිබේ. ඒ හරහා මෙරට ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් දායකත්වය ලබා දීම චීන රජයේ අරමුණ වී ඇත.

මීට අමතරව හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී මහතා සහ ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී, පොළොන්නරුව මහ රෝහල සඳහා වකුගඩු රෝගී ඒකකයක් ස්ථාපිත කිරිම සහ කොළඹ ජාතික රෝහල වෙත නව බාහිර රෝගී අංශයක් ස්ථාපිත කිරීම යනාදී චීන ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන තිබේ.

එසේම කොවිඩ්-19 වසංගතය පාලනය සම්බන්ධයෙන් ලංකාව දක්වා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන්ද තමා සතුටට පත්වන බවද යැංග් ජියේචී මහතා මෙහිදී පවසා ඇතැයි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

Visits: 264