සොෆ්ට්ලොජික් කැපිටල් විසින් අබාන්ස් ෆිනෑන්ස් හි කොටස් 49.67%ක් මිලදී ගැනීමට යයි
සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහයට අයත් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ මව් සමාගම වන සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී මගින් අබාන්ස් පීඑල්සී වෙත අයත් අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 49.67%ක කොටස් ප්‍රතිශතයක් එහි ප්‍රධාන කොටස් හිමිකරුවා වන අබාන්ස් පීඑල්සී වෙතින් මිලදී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇතැයි පවසයි.
ඒ අනුව මෙම මිලදී ගැනීමත් සමගින්ම සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමාගම මගින් අත්පත් කර ගැනීමට නියමිත අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සීහි කොටස් ප්‍රමාණය 33,063,877 කි. එහිදී අබාන්ස් ෆිනෑන්ස් සමාගම සිය කොටසක් රුපියල් 30.10 බැගින් සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී වෙත අලෙවි කිරිමට එකඟතාව පළ කර තිබේ.
මෙහිදී අදාළ මිලදී ගැනීම හරහා අබාන්ස් පීඑල්සී සමාගම සහ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී හා ඒකාබද්ධවිමක් සිදු වන බවත්, ඒ සමගින්ම මෙරට මූල්‍ය සමාගම් විසින් සැපිරිය යුතු බවට දැනටමත් මහ බැංකුව විසින් නියම කර ඇති මූලික ප්‍රාග්ධන අවශ්‍යතාව ඇතුළු කරුණු සැපිරීමක් සිදු වන බවත් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.
මේ අතර, මෙම ගනුදෙනුව හරහා සිදුවන ඒකාබද්ධ වීමෙන් අනතුරුව අබානාස් ෆිනෑන්ස් පීඑල්සීහි කොටස් හිමිකරුවන් වෙත සොෆ්ට්ලොජික් ෆිනෑන්ස්හි කොටස් හිමිකමක්ද හිමිවීමට නියමිතව තිබේ.
ඒ අනුව අබාන්ස් ෆිනෑන්ස්හි කොටස්හිමියන් සතු සෑම කොටස් 6ක් සඳහාම සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී හි සාමාන්‍ය කොටස් 11ක හිමිකාරීත්වයක් හිමි වන බව සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කර සිටියි.
මෙහිදී අදාළ බෙදීම 2020 ජුනි 30 වැනිදා දිනය සඳහා නිකුත් කෙරුණු සමාගම් දෙකෙහිම මූල්‍ය ප්‍රකාශන අනුව සිදු කරන ලද දළ සමාගම් දෙකෙහිම වත්කම් වටිනාකම් අනුව සිදු කරවුවක් බවත් සඳහන් වෙයි.
මේ අතර සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී මගින් අබාන්ස් ෆිනෑන්ස්හි කොටස් මිලදී ගැනීම මෙන්ම සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් හා අබාන්ස් පීඑල්සී ඒකාබද්ධවීම යනාදිය සඳහා සියලුම ආකාරයේ නියාමකයන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද සමාගම් දෙකම සඳහන් කරයි.
ඒ අනුව කොටස් අලෙවිය පිළිබඳ තීරණය කොළඹ කොටස් හුවමාරුව වෙත හිමිව ඇති අතර, අද (සැප්තැම්බර් 29) දිනයේදී රැස් වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම ඒකාබද්ධ වීම සඳහා වන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් වන අවසන් තීරණ ගැනීමට නියමිතව තිබේ.

Hits: 575