Moody’s ආයතනය ශ්‍රී ලංකාව තවත් පහත හෙළයි

ජාත්‍යන්තර ණය වර්ගීකරණ සහ ආර්ථික පර්යේෂණ ආයතනයක් වන මූඩී’ස් ඉන්වෙස්ටර්ස් සර්විස් (Moody’s Investors Service) මගින් ශ්‍රී ලංකාව මෙතෙක් පැවැති B2 මට්ටමේ සිට Caa1 මට්ටම දක්වා පහත හෙළා ඇතැයි පවසයි. එසේම ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම ස්ථායි ලෙස වෙනස් කිරීමටද කටයුතු යොදා ඇත.

එහිදී මූලිකවම නව කොරෝනා වෛරසයෙන් ඇති වූ කම්පනය, සමාජීය අවදානමක් ලෙස සලකන බවත් ඒ හරහා ශ්‍රී ලංකාව දැනටමත් අරමුදල් සම්පාදනය කරගැනීමේ අර්බුදයක මෙන්ම විදේශ ණය ගෙවීම පිළිබඳ ගැටලුවකට මුහුණ දී සිටීමත් මේ තීරණය හරහා පෙන්නුම් කරන බව මූඩී’ස් සමාගම සඳහන් කරයි.

“මෙහිදී රටෙහි ද්‍රවශීලතා අර්බුදය මෙන්ම අවම අරමුදල් සම්පාදනය හේතුවෙන් ඉදිරි වසර කිහිපයේදී රට සතු විදේශ ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් පවතින අවදානමත් පෙන්නුම් කරනවා.” මූඩීස්  පවසයි.

මෙම සටහනේ ඇති ආකාරයට 2020 සහ 2025 වසර සඳහා රජය විසින් ආපසු ගෙවිය යුතු විදේශ ණය මුදල් ප්‍රමාණය ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක් පමණ වෙයි. ඒ අතරින් 2020 ඔක්තෝබර් මාසය වනවිට කල් පිරීමට නියමිත ඩොලර් බිලියනක ණයක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. එහිදී දැනට ශ්‍රී ලංකාව සතු විදේශ මුදල් සංචිත හරහා එම මුදල් ගෙවීමක් සිදු වෙනු ඇති බවත්, ඊට මුහුණ දීම සඳහා තවදුරටත් ආනයනය සීමා කිරීම ඇතුළු පියවරයන් වෙත රජය යොමු වෙනු ඇති බවත් මූඩී^ස් සඳහන් කරයි.

මෙම ප්‍රධාන වර්ගීකරණයට සමගාමීව මූඩී’ස් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ රුපියල් බැඳුම්කර සහ බැංකු තැන්පතු උපරිම සීමාවේ වර්ගීකරණය Bc2 සිට B1 දක්වා පහත හෙළීමටත්, දිගුකාලීන විදේශ මුදල් බැඳුම්කර උපරිම සීමාව Ba3 සිට B3 දක්වා පහත හෙළීමටත්, විදේශ මුදල් තැන්පතු උපරිම සීමා වර්ගීකරණය B3 සිට Caa1 දක්වා පහත හෙළීමටත් පියවර ගෙන ඇත. ඒ අනුව මේ සියල්ලම පසුගිය අප්‍රේල් මාසයේ 17 වැනිදා  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වර්ගීකරණ පහත හෙළීමේ අවස්ථාවේ අවසන් තීරණය බවත් මූඩී’ස් සඳහන් කරයි.

Visits: 385