ජෝන් කීල්ස් හොටෙල්ස් පීඑල්සී – ඉන්ද්‍රා ට්‍රේඩර්ස් හා එක්ව ‘සිනමන් රෙඩ් කැන්ඩි’ ඉදිකිරීමට යයි

ජෝන් කීල්ස් හොටෙල්ස් පීඑල්සී සමාගම සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පෞද්) සමාගම ඒකාබද්ධවීමෙන් පිහිටුවා ගෙන ඇති ඉන්ද්‍රා හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් කැන්ඩි (පෞද්) සමාගම මගින් මහනුවරදී කාමර 160කින් සමන්විත තරු තුන පන්තියේ හෝටලයක් (lean Luxury Hotel) ඉදිකිරීමට සූදානමින් සිටින බව පවසයි.

ඒ අනුව ඉදිකිරීමට යෝජිත මෙම හෝටලය සඳහා වන එකඟතාව වෙත ඉන්ද්‍රා හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් කැන්ඩි (පෞද්) සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමගින් අත්සන් තැබීම පසුගියදා සිදුව තිබේ.

එහිදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති සුසන්ත රත්නායක මහතා සහ ඉන්ද්‍රා හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් කැන්ඩි (පෞද්) සමාගම වෙනුවෙන් එහි සභාපති ඉන්ද්‍රා සිල්වා යන මහත්වරුන් මේ සඳහා අත්සන් තබා ඇත..

2022 වසරේ මැද භාගයේදී වැඩ නිම කිරීමට සැලසුම් කර ඇති මෙම ඉදිකිරීම සඳහා ආයෝජනය කෙරෙන මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 29.32කි. මෙහිදී සිනමන් හෝටල් සන්නාමයේ කොටසක් ලෙස ඉදි කෙරෙන මෙම හෝටලය සිනමන් හොටෙල් මැනේජ්මන්ට් ලිමිටඩ් සමාගම මගින් කළමනාකරණය කිරීමට නියමිතව ඇත.

ඉදිවන නව හෝටලයේ ඉහළ මහලේ මත්පැන් හලක් සහ පිහිනුම් තටාකයක් ද පවතී. එසේම බුෆේ සහ la carte අනුව ආහාර ලබා ගත හැකි දේශීය සහ ජාත්‍යන්තර ආහාරවලින් සමන්විත ආපනශාලාවක්ද මෙහි පිහිටුවෙයි.

සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට් සමාගම දැනටමත් මෙවැනි lean Luxury Hotel සංකල්පයේ හෝටල් පවත්වාගෙන යන අතර කොළඹ පිහිටි ‘සිනමන් රෙඩ් කලම්බෝ’ හෝටලය එවැන්නකි. ඒ අනුව ඉදි කෙරෙන මෙම හෝටලය සිනමන් රෙඩ් කැන්ඩි ලෙස හැඳින්වෙනු ඇති බවත් සඳහන් වෙයි. එසේම එය මහනුවර පිහිටි එකම Leed Gold සහතිකකරණය සහිත හෝටලය බවටත් පත්වන බව පැවසෙයි.

Views: 547