e-GP හරහා ලියාපදිංචියට සැපයුම් හා කොන්ත්‍රාත්කරුවන්ට ආරාධනා

රජය වෙත භාණ්ඩ, සිවිල් කොන්ත්‍රාත් වැඩ හා සේවාවන් සැපයීමට උනන්දුවක් දක්වන සැපයුම්කරුවන් රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය (e-GP) යටතේ ලියාපදිංචි වන ලෙස මුදල් අමාත්‍යාංශයේ, විද්‍යුත් ප්‍රසම්පාදන ලේකම් කාර්යාලය ආරාධනා කර සිටියි.

ඒ අනුව ජාතික / ජාත්‍යන්තර ලංසු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය සඳහා සැපයුම්කරුවන් ලියාංපදංචි කිරීම, ප්‍රසම්පාදන ආයතන ලියාපදිංචි කිරීම, ප්‍රසම්පාදන නිවේදනය කිරීම, ලංසු කැඳවීම හා ලංසු තබා ගැනීම, විද්‍යුත් ක්‍රමවේදයකට අනුව ලංසු විවෘත කිරීම හා ඇගයීම මෙන්ම අවශ්‍ය කොන්ත්‍රාත් පිරිනැමීම වැනි සියලු අත්‍යවශ්‍ය පහසුකම් සහිතව මෙම විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය නිර්මාණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ සඳහා www.promise.lk වෙබ් පෝර්ටලයට පිවිස එහි පළ කර ඇති User Guide for Vendors පරීක්ෂා කර බැලීම වෙත යොමුවන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියි.

එහිදී 2020 නොවැම්බර් 30 වැනි දිනට පෙර ලියාපදිංචි වන සමාගම් සඳහා රුපියල් 5,000ක සහනදායී වාර්ෂික ලියාපදිංචි ගාස්තුවක්ද, එසේම ජාත්‍යන්තර සැපයුම්කරුවන් සඳහා එක්සත් ජනපද ඩොලර් 50ක්ද ගෙවිය යුතු බව ලේකම් කාර්යාලය  පවසයි. එසේම මෙම ලියාපදිංචිය, ලියාපදිංචිය වූ දින සිට පුරා වසරක් වලංගු වෙයි.

මෙහිදී භාණ්ඩ, සිවිල් කොන්ත්‍රාත් වැඩ හා සේවාවන් මිලදී ගැනීමේදී මෙම විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය (e-GP) කඩිනමින් භාවිත කරන ලෙස සියලුම රාජ්‍ය ආයතනවලට මේ වනවිට චක්‍රලේඛ මගින් දැනුම් දී ඇතැයිද පැවසෙයි.

මේ අතර මුදල් අමාත්‍යාංශයේ විද්‍යුත් ප්‍රසම්පාදන ලේකම් කාර්යාලයේ ක්ෂණික ඇමතුම් අංක 1925 ඇමතීමෙන් ලියාංපදිවීමේ සහාය ලබා ගත හැකි  බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Views: 82