පිට පිට සිව්වැනි දිනටත් රුපියල් බිලියන 3 ඉක්මවූ පිරිවැටුමක්

අද දිනයේ (සැප්තැම්බර් 18) වෙළෙඳ පොළ තුළ බැංකු කොටස් වටිනාකම් තවදුරටත් ඉහළ යාම සිදු වුණු බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි. කෙසේ වෙතත් දිනය ආරම්භයේදී පෙන්නුම් කළ ගැනුම්බරතාව පසුව යම් ප්‍රමාණයකින් අඩුව ගියත්, දිනය අවසානයේදී එය යළිත් ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. විශේෂයෙන්ම තනි ආයෝජකයන් තුළ වෙළෙඳ පොළ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඉහළ උනන්දුවක් පැවතී ඇති අතර, ඒ හේතුවෙන් අද දිනයේදීද පිට පිට සිව්වැනි දිනටත් රුපියල් බිලියන 3 ඉක්මවූ දෛනික පිරිවැටුමක් වාර්තා කරන්නට කොළඹ කොටස් වෙළෙඳ පොළට හැකි විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,678.50 ත් ඒකක 5,727.54 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,720.67ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (සැප්තැම්බර් 17) දිනයට සාපේක්ෂව එය ඒකක 62.01 ක් එනම් 1.10%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව කළ ගනුදෙනු ලෙස ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව සිදු කළ ගනුදෙනු දිනයේ සමස්ත පිරිවැටුමෙන් 16%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 122ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 69ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් BIL (+6.61),  එච්.එන්.බී. ෆිනෑන්ස් පීඑල්සී HNBF (+4.58), එල්.ඕ.එල්.සී පීඑල්සී LOLC (+4.37), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+4.05), සම්පත් බැංකුව SAMP (+4.04), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-4.23), සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී SINS (-1.12),  සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සි SUN (-0.62), හේලීස් පීඑල්සී HAYL (-0.60)  සහ ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී OSEA (-0.57යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,512.40 ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 17) දිනයට සාපේක්ෂව ඒකක 32.33 ක එනම් 1.30%ක  ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.54ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ වාර්තා කළ රුපියල් බිලියන 3.41 ට සාපේක්ෂව 4%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.49 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 12.80%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 295.53ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 757.14ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 461.6 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 37.02ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඇල්පිටිය ප්ලාන්ටේෂන් විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 1.45කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 238.88ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  බිලියන 1.29 ක් සඳහා බැංකු දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 36% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ අංශය සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 549ක සහ රුපියල් මිලියන 429ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 212