සීමාසහිත අබාන්ස් රීටේල් (පෞද්) සමාගම අබාන්ස් පීඑල්සී හා ඒකාබද්ධ වෙයි

අබාන්ස් සමූහය යටතේ පවතින සීමාසහිත අබාන්ස් රිටේල් (පෞද්) සමාගම (Abans Retail (PVT) Ltd) සිය සමාගම හා ඒකාබද්ධ කරගැනීමට තීරණය කර ඇතැයි අබාන්ස් පීඑල්සී සමාගම පවසයි. මෙම අබාන්ස් රිටේල් (පෞද්) සමාගම, කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත අබාන්ස් පීඑල්සී සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමකි.

මෙහිදී 2007 අංක 07 දරන සමාගම් පනතේ වගන්ති 242 (1) යටතේ මෙම ඒකාබද්ධ කිරීම සිදු කර ඇතැයි අබාන්ස් පීඑල්සී සමාගම පවසයි. ඒ අනුව මින් ඉදිරියට අබාන්ස් රිටේල් (පෞද්) සමාගම ලෙස සමාගමක් නොපවතින බවත් එයද අබාන්ස් පීඑල්සී ලෙසම  හැඳින්වෙන බවත් සමාගම සඳහන් කරයි.

මෙහිදී සමාගම ලබන ඔක්තෝබර් 31 වැනිදා එම ඒකාබද්ධවීම නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එම දිනය හෝ සමාගම් රෙජිට්‍රාර් ජනරාල්වරයා විසින් මෙම ඒකාබද්ධවීම සඳහා වන සහතිකය ලබා දෙන දිනයේදී මෙම කටයුතු සිදු වෙනු ඇති බවත් අබාන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

අබාන්ස් සමාගම යටතේ පවතින සියලුම අබාන්ස් ප්‍රදර්ශනාගාර මෙම Abans Retail (PVT) Ltd යටතේ ක්‍රියාත්මක වුණි. මෙම අබාන්ස් සිල්ලර වෙළෙඳ සැල් ජාලය යටතේ මේ දක්වා පූර්ණ හිමිකම සහිත අබාන්ස් ප්‍රදර්ශනාගාර 383කට ආසන්න ප්‍රමාණයක් පවත්වාගෙන යයි. එසේම අලෙවි නියෝජිතයන් සහ බෙදාහැරීම් සිදු කරන ප්‍රදර්ශනාගාර  850ක් පමණද රට පුරා ක්‍රියාත්මක වෙයි.

මීට අමතරව Abans Elite ප්‍රදර්ශනාගාර 24ක්, අබාන්ස් හෝම්ස් ඉන් ස්ටයිල් සහ Hugo Boss ප්‍රදර්ශනාගාර එක බැගින්, Sketchers ප්‍රදර්ශනාගාර 06ක්, Apple I Store ප්‍රදර්ශනාගාර 28ක්, Titan ප්‍රදර්ශනාගාර 03ක් සහ Face shop Outlets ප්‍රදර්ශනාගාර 03ක් ලෙස එම ප්‍රදර්ශනාගාර බෙදී ඇත.

එසේම අබාන්ස් සමාගම සිය සිල්ලර වෙළෙඳාම තවදුරටත් ව්‍යාප්ත කරමින් තවත් Abans Elite ප්‍රදර්ශනාගාරදෙකක් මොරටුව සහ කලම්බු සිටි කෙන්ටර්හිදීද විවෘත කිරිමට සූදානමින් සිටින බව සිය 2019 වාර්ෂික වාර්තාව තුළ  පවසයි.

එසේම Abans Retail (PVT) Ltd හරහා එම වසරේදී ලැබුණු සමස්ත ආදායම රුපියල් බිලියන 23.7ක් බවත්, එය ඊට පෙර මූල්‍ය වර්ෂයේදී ලැබුණු ආදායම හා සැසඳීමේදී 14%ක අඩුවීමක් බවත් පවසයි. විශේෂයෙන්ම රටෙහි ආර්ථික තත්ත්වයන්ගේ පැවති අසීරුතා හේතුවෙන් ජනතාව ගෘහවිදුලි උපකරණ මිලදී ගැනීමට යොමු නොවීම ඊට හේතුව බවද සමාගම සඳහන් කරයි.

Visits: 321