“අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය කොළඹ වරාය නගර ව්‍යාපෘතියයි” – අගමැති මහින්ද

අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය කොළඹ වරජය නගර ව්‍යාපෘතිය බවට පත්වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එම ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය යෙදුණු ඊයේ (සැප්තැම්බර් 17) දිනයේ අගමැතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් මේ බව සඳහන් කර තිබේ.

මෙහිදී අගමැතිවරයා වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය, පොදු වෙරළ තීරය නිරීක්ෂණය කර ඇති අතර, එහි ස්ථාපිත වන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ ද නිරත වූ බව අගමැති මාධ්‍ය අංශය පවසයි. අනතුරුව වරාය නගර මධ්‍ය උද්‍යානයේ  අග්‍රාමාත්‍යතුමා අතින් මැයි මාර ගසක්ද රෝපණය කෙරී ඇත.

එසේම ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශනය පීඨයට ගිය අග්‍රාමාත්‍යතුමා දැනට සිදුවන ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය ගැනද විමසා තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති අගමැතිවරයා, චීන ජනාධිපතිතුමයි මමයි ආරම්භ කරපු මෙම ව්‍යාපෘතියට අදට වසර 6ක් ගත වෙනවා. පසුගිය කාලයේ සිදු වූ යම් යම් දේ නිසා වසර 2 පමණ එම ව්‍යාපෘතියේ වැඩ ප්‍රමාද වුණා. දැන් නැවත වරාය නගර ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වී තියෙනවා. අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පත් වෙනවා.” යනුවෙන් පවසා තිබේ.

මෙමඟින් රැකියා 83000 පමණ බිහි  වන බවත්, ව්‍යාපෘතිය සඳහා සමස්ත වියදම ඩොලර් බිලියන 15ක් බවත් අගමැතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

“අපි කුඩා අවධියේ අසා තිබුණේ මුහුදට මේ රට ඛාදනය වෙනවා කියලා. පළමුවතාවට අපි මුහුද අපේ රටට එකතු කර ගත්තා. කොළඹ වරාය නගරය ඉදි කරන්න සහය වන චීන රජයට අපි ස්තූති වන්ත වෙනවා.” යනුවෙන්ද අගමැතිවරයා පවසා ඇත.

මේ අතර, චීන කොමියුනිට්ස් පක්ෂය බිහිවී වසර 100 ගත වන බවත්, එළඹෙන ඔක්තෝම්බර් 01 වෙනිදා මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් ලෙස චීන ජනාධිපතිතුමා ඇතුලු සමස්ත චීන ජනතාවට අපේ සුභ පැතුම් එක් කරන බවත් අගමැතිවරයා සඳහන් කර තිබේ

චීන ජනාධිපති ෂීජිපිං මහතාගේ හා එවකට ජනාධිපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2014 සැප්තැම්බර් 17 වෙනිදා ය. පසුගිය ආණ්ඩුවේ අදූරදර්ශී  වැඩපිළිවෙළ හේතුවෙන් වරාය නගර ව්‍යාපෘතිය වසරකට වැඩි කාලයක් ඇණ හිට තිබිණි.

වරාය නගරය වෙනුවෙන් හෙක්ටයාර 269මුහුද ගොඩකර භුමිය සකසා ඇති අතර කිලෝමීටර 3.2 ක් දිගුවන දිය කඩනයේ ඉදිකිරීම් මේ වන විට අවසන් කර තිබේ.

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි,කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කළමනාකරණ අධ්‍යක්ෂ ජියන් හෝයි ලින්ග් මහත්වරු ඇතුළු වරාය නගර ව්‍යාපෘතියේ නිලධාරීන් රැසක් එක්ව තිබේ.

Views: 142