ඩිජිටල්කරණයත් සමග දේශීය ආයෝජක ආකර්ෂණය ඉහළට

අද දිනයේ (සැප්තැම්බර් 17) පෙරවරු කාලයේදී සිදු වූ කොළඹ කොටස් හුවමාරුව වෙත ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වාදීමේ කටයුතු හේතුවෙන් වෙළෙඳ පොළ සම්බන්ධයෙන් ඇති වූ ධනාත්මක අපේක්ෂාවන් සමගම වැඩි ආයෝජක ආකර්ෂණයක් හිමි වූ බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි. එහිදී මීට පෙර මිල ගණන් අඩු වූ බැංකු කොටස් වටිනාකම් පවා කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් සිදු වුණු බව ඔවුන් පවසයි. මේ සමස්තයේ ප්‍රතිඵලයක් ලෙස අද දිනය අවසානයේදී පිට පිට තෙවැනි දිනයටත් සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3 ඉක්මවීමට කොළඹ කොටස් හුවමාරුව සමත්කම් දැක්වීය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,604.38 ත් ඒකක 5,667.39 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,658.66ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (සැප්තැම්බර් 16) දිනයට සාපේක්ෂව එය ඒකක 73.26 ක් එනම් 0.93%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව කළ ගනුදෙනුවක් ලෙස මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සිදු කළ ගනුදෙනුව දිනයේ සමස්ත පිරිවැටුමෙන් 1%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 117ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 69ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ, කොමර්ෂල් බැංකුව COMB (+7.7),  සම්පත් බැංකුව පීඑල්සී SAMP (+5.18), ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+4.71), හැටන් නැෂනල් බැංකුව පීඑල්සී HNB (+4.25), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+3.75), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-1.47), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-1.20),  හේලීස් පීඑල්සි HAYL (-0.79), වැලිබල් වන් පීඑල්සී VONE (-0.75)  සහ ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී CALF (-0.70යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,480.07 ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 16) දිනයට සාපේක්ෂව ඒකක 73.71 ක එනම් 3.06%ක  ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.41ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ වාර්තා කළ රුපියල් බිලියන 3.53 ට සාපේක්ෂව 3%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.46 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 13.75%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 93ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 335ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 242 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 36.56ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 37.14කි. එසේම මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 96.17ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 825 ක් සඳහා බැංකු දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 24% ක අගයක් ගෙන තිබේ. එසේම නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 798ක සහ රුපියල් මිලියන 461ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 167