වෙළෙඳ ඇමති හා අපනයන සංවර්ධන මණ්ඩල නිලධාරීන් අතර හමුවක්

වෙළඳ අමාත්‍යවරයා ලෙස පත් වුණු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල (EDB) පරිශ්‍රය වෙත පැමිණ එහි නිලධාරින් හමුවී සාකච්ඡා කළ බව එම මණ්ඩලය සඳහන් කරයි. මෙහිදී අදහස් දක්වා ඇති අමාත්‍යවරයා අපනයනකරුවන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් සඳහා ක්‍රමවේද සකස් කරන බවද පවසා ඇත.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුබසිංහ මහතා, වෙළඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාංජලී දිසානායක මෙනවිය ඇතුළු අධ්‍යක්ෂවරුන් සහ සෙසු නිලධාරීන් සහභාගී වී තිබේ.
නිදහසින් පසු පත්වුණු සෑම රජයක්ම අපනයන සංවර්ධනය සඳහා අඩුවැඩි වශයෙන් කටයුතු කළ බවත්, වත්මන් රජය ‘සෞභාග්‍යයේ දැක්ම’ යථාර්ථයක් කිරීම සඳහා පුළුල් වැඩ පිළිවෙලක් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.
ඒ යටතේ මෙරට නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම නිෂ්පාදනය කිරීමෙන් විදේශ විනිමය පිට රටට ගලාගෙන යාම අවම කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර තිබේ.
මෙහිදී තවදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, “කොවිඩ්-19 වසංගත කාලය තුළදී ජනාධිපතිතුමාගේ සහ රජයේ දූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් සහ නිවැරදි කලමනාකරණය හේතු කොට ගෙන ආනයන විශාල වශයෙන් අවම කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලයත්, අනෙකුත් රාජ්‍ය සහ පුද්ගලික ආයතනත් ඉතා විශාල ප්‍රයත්නයක් දරලා අඛණ්ඩව තම නිෂ්පදාන වෙළඳපොලට සැපයීමට කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් රටක් ලෙස සියලුම අපනයනකරුවන්ට අපි ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් පවසා ඇත.
එසේම ජූලි මාසය තුළදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලර් බිලියන එකකට වඩා වැඩි අපනයන ප්‍රමාණයක් සිදු කර, ඒ මාසය තුළදී 1977න් පසුව ඇති වූ වැඩිම වෙළඳ අතිරික්තය වාර්තා කර ඇති බවත් අමාත්‍යවරයා පවසා ඇත. විශේෂයෙන්ම විවෘත වෙළඳපොල ආර්ථිකය හඳුන්වා දීමෙන් අනතුරුව වෙළඳ අතිරික්තයක් ඇති කර ගැනීමට නොහැකි වුණු බවත්, ගෝලීය වසංගත තත්වයක දී වුණත් එයත් පාලනය කර ගනිමින් ඇතිවුණු විශ්වසනීයත්වය මත නැවත රටට නැගිටින්න පුළුවන් බව ඔප්පු කරල තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

“පසුගිය කාලය තුළ අපනයන ප්‍රවර්ධනය පිළිබඳ ප්‍රධාන ගැටළුවක් ඇති වෙලා තියනවා. අපනයන සංවර්ධන මණ්ඩල පනත තුළ ඉතා පැහැදිලි විධිවිධානයක් යොදලා තියනවා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක් තිබිය යුතුයි කියලා. නමුත් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපනයන සංවර්ධන සභාව වසර විස්සකින් පමණ රැස්ව නොමැතිකම හේතුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලයත්, අපනයනකරුවනුත් විශාල ගැටළු රැසකට මුහුණ දීලා තියනවා.” අමාත්‍යවරයා පවසා ඇත.
මේ පිළිබඳව ලබන සතිය තුළ දී කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කොට අපනයනකරුවන් මුහුණ දෙන ගැටළුවලට ක්ෂණික විසඳුම් ලබා දිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පවසා තිබේ.
“ඒ වගේම ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සකස්කොට එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත්, එය විශ්වාසයෙන් යුතුව ඉෂ්ට කිරීම සඳහා වගකිවයුතු ආයතනයක් වන අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු දෙනා සමගින් අවශ්‍ය වෙනස්කම් කරමින් කෙටි කාලයක් තුළ රටට ප්‍රතිඵල පෙන්වීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්ද වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Hits: 28