රුපියල් ට්‍රිලියන 1.6ක අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

රජයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට මෙන්ම මෙතෙක් පියවා නොමැති බිල්පත් ගෙවීම සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට රජය අද (අගෝස්තු 20) දිනයේදී සූදානමින් සිටින බව වාර්තා වෙයි. මෙහි වටිනාකම රුපියල් ට්‍රිලියන 1.6ක් බව පැවසෙයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව රජයේ පළමු පාර්ලිමේන්තු සභාවාරය අද  දිනයේදී ඇරඹීමට නියමිතව ඇත.

ඊයේ (19දා) පැවැත්වුණු නව රජයේ පළමු කැබිනට් තීරණ දැනුම් දීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ අතුරු සම්මත ගිණුම පිළිබඳ කරුණු අනාවරණය කළේය. ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත්වීමට නියමිත නව රජයේ පළමු අයවැය දක්වා කාලය තුළදී අවශ්‍ය රජයේ වියදම් වෙනුවෙන් මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කර තිබේ.

විශේෂයෙන්ම පසුගිය කාලසීමාවේදී සිදු කෙරුණු රජයේ මාර්ග සහ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත් වෙනුවෙන් ගෙවීමට ඇති බිල්පත් නිරවුල් කිරිම මෙන්ම අනෙකුත් ගෙවීම් වෙනුවෙන් මෙම මුදල් ලබා ගැනීම සැලසුම වී ඇතැයි මීට පෙර මාධ්‍ය වාර්තා මගින් අනාවරණය කර තිබුණි.

දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට ඉදිකිරීම් ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 200 කි. මෙම ගෙවීම් දැනට වසරකට වඩා වැඩි කාලයක් ප්‍රමාද වෙමින් තිබේ. එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වන මෙතෙක් නොගෙවූ බිල්පත්ද මෙම අතුරු සම්මත ගිණුම හරහා ගෙවීමට සැලසුම වී ඇත.

මීට අමතරව පාසැල් තුළ සිදු කළ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහාද තවත් රුපියල් බිලියන 15ක මුදලක් ගෙවීමට ඇත. රජය විසින් ඉතිරි මුදල් ගෙවීමට අපොහොසත්වීම නිසා කොන්ත්‍රාත්කරුවන් එම ඉදිකිරිම් අතරමැද නවතා දමා ඇතැයිද පැවසෙයි.

එහිදී ඇතැම් ව්‍යාපෘති සඳහා මුදල් ලබා දීම විදේශ ණය ලබා ගැනීම් හරහා සිදු කිරිමට යෝජනා වී තිබේ. ඒ අනුව මාර්ග සංවර්ධන සහ විදුලිබල උත්පාදන ව්‍යාපෘති මෙම මුදල් හරහා සිදු කෙරෙන බව රජය පවසයි.

මේ සම්බන්ධයෙන් පසුගියදා පළ වූ සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත අදහස් දක්වා තිබූ සමෘද්ධි සහ ක්ෂුද්‍ර මූල්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, “මේ අතුරු සම්මත ගිණුම සමස්ත බිල් ගෙවීම සඳහා ප්‍රමානවත් නැහැ. ඒත් මේ ගෙවීම් හරහා බැංකු ණය පහසුකම් වෙත යාමට උපකාරයක් ලබා දේවි. ඒ හරහා ජනතාව අතර මුදල් ගලායාම සුරක්ෂිත කිරීමට රජයට හැකි වේවි.” යනුවෙන් පවසා ඇත.

පසුගිය නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් පසුව පත් වූ භාරකාර රජය යටතේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරමින් රුපියල් බිලියන 1,088 ක මුදලක් ලබා ගැනීමට කටයුතු කළත් පාර්ලිමේන්තු බහුතරය පැවැති විපක්ෂයේ විරෝධය හමුවේ එය අසාර්ථක විය.

එම අවස්ථාවේදී රජය මුලින් රුපියල් බිලියන 721ක් ලබා ගැනීමට කටයුතු කළ අතර, අමතරව තවත් රුපියල් බිලියන 367ක් ලබා ගැනීමට උත්සාහ කර තිබුණි. එහෙත් එවැනි අමතර මුදලක් ලබා ගැනීම ජනතාවට මෙන්ම ආර්ථිකයටද අමතර බරක් බව පවසමින් විපක්ෂය ඊට විරුද්ධ වුණි.

කෙසේ වෙතත් පසුගිය අගෝස්තු 05 වැනිදා පැවැති මහමැතිවරණයෙන් පත් වූ නව රජයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වඩා වැඩි බලයක් හිමි ව ඇති අතර, ඉදිරිපත් කරන මෙම අතුරු සම්මත ගිණුම පහසුවෙන්ම අනුමත වීම අනිවාර්යය වී තිබේ.

Views: 79