යහපාලන සමයේ රාජ්‍ය බැංකු හතරක අක්‍රමිකතා සොයන්න කමිටුවක්

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීමත්, රාජ්‍ය බැංකු තුළ සිදු වූ අක්‍රමිකතා සොයා බැලීම සඳහාත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා, ඒකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පරිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගණදෙනු විධිමත්ව අධ්‍යනය කිරීමට මෙම සිව් පුද්ගල කමිටුවක් පත්කර ඇත.

හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන අතර, වරලත් ගණකාධිකාරී සුසන්ත ද සිල්වා හා විශ්‍රාමික අතිරේක විගණකාධිපති ඩබ්ලිව්. ප්‍රේමානන්ද යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. එසේම මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙකු කමිටුවේ ලේකම් ධුරය දරන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණදෙන අභියෝග ජයගැනීම සඳහා බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීම මෙහි අරමුණ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

විශේෂයෙන්ම ඉදිරියේ දී එවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා ගතයුතු නෛතික, මූල්‍ය සහ පරිපාලන පියවර පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමත්, මුල්‍ය පාඩුවලට වගකිව යුතු නිලධාරීන් සහ බාහිර පාර්ශ්වයන් හඳුනාගැනීමත් සහ රාජ්‍ය බැංකු පද්ධතිය ජනතාවට වඩාත් හිතකර සේවාවක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීමත් මෙම කමිටුවට පැවරී තිබේ..

මෙම කමිටුව විසින් මාස තුනක කාලයක් තුළ ඉදිරිපත් කරනු ලබන අදාළ නිර්දේශ සහිත වාර්තාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇතැයිද මුදල් අමාත්‍යාංශය පවසයි.

Visits: 46