පිට පිට දෙවැනි දිනටත් බැංකු සඳහා දේශීය ආයෝජක ආකර්ෂණය ඉහළට
මහ මැතිවරණයෙන් පසුව පත් වූ නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමත්, නව කොරෝනාවට එරෙහි එන්නතක් ලියාපදිංචි කරන බවට රුසියාව සිදු කළ නිවේදනය සහ ඉහළ යමින් තිබූ ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල ක්‍රමයෙන් පහත වැටීමත් යන කාරණා සමගින්ම පිට පිට දෙවැනි දිනටත් අද (අගෝස්තු 12 දා) කොළඹ කොටස් වෙළෙඳපොළෙහි වැඩිමනක් දේශීය ආයෝජකයන් තුළ බැංකු කොටස් මිලදී ගැනීම් පිළිබඳ උනන්දුව වැඩි වුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.
ඒ අනුව අද (2020 අගෝස්තු 12) දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ධන අගයක් ගෙන තිබුණි.
මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,208.64 ත් ඒකක 5,226.95 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,220.57ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (අගෝස්තු 10 දාට) සාපේක්ෂව එය ඒකක 24.17 ක් එනම් +0.47%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.
පෙර සිදු කළ සාකච්ඡාවකින් පසුව පැමිණි එකඟතාවකට අනුව කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, ඩීඑෆ්සීසී සහ එල්ඕඑල්සී යන සමාගම් අද දිනයේදී සිදු කළ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 42%ක් සඳහා දායකත්වයක් ලබා දී ඇත.
එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 82ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 81ක මිල ගණන් පහළ යාම සිදු විය.
මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් බැන්ක් පීඑල්සී COMB (+9.20), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+8.97), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+3.83), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (+3.08), හැටන් නැෂනල් බැන්ක් පීඑල්සී HNB (+2.27), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-4.34), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-1.95), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (-1.70), බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-1.45) සහ ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (-1.14) යනාදී සමාගම්ය.
ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,277.20 ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 11) දිනයට සාපේක්ෂව ඒකක 45.42 ක එනම් 2.04%ක ඉහළ යාමකි.
මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.72ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 2.69 ට සාපේක්ෂව 1%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.
දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.46 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 13.83%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.
මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 101.45ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 671.67ක අගයක් ගෙන තිබේ.
මේ අතර, දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 570.21 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 26.85ක් ලෙස සටහන්ව තිබේ.
මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය නෙස්ලේ ලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 34.92 කි. එසේම ඩීඑෆ්සීසී බැංකුව විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 417.74ක් ලෙස සටහන්ව ඇත.
මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.77 ක් සඳහා බැංකු දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 65% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පාන සහ දුම්කොළ ක්ෂේත්රය එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 469ක සහ රුපියල් මිලියන 159ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.
Views: 234