සිනමන් ග්‍රෑන්ඩ් සමෝසාවේ තිබුණේ චුයින්ගමයක් නෙමෙයිලු

පසුගියදා පාරිභෝගිකයෙකු විසින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ආපනශාලාවකින් මිලදී ගත් සමෝසාවක තිබී හමුවූයේ චුයින්ගම් කැබැල්ලක් නොවන බව විද්‍යාගාර පරීක්ෂාවකින් ඔප්පු වී ඇතැයි එම හෝටලයේ සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් මගින් සඳහන් කරයි.

පසුගිය අගෝස්තු 10 වැනිදා සඳුදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිහිටි Coffee Shop නම් අවන්හලෙන් අදාළ පාරිභෝගිකයා මෙම සමෝසාව මිලදී ගෙන තිබුණි. පසුව එය ආහාරයට ගනිද්දී එහි ඇදෙන යමක් දැක, ඔහු එය චුයින්ගමයක් යැයි පවසා ඒ පිළිබඳව ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා පළ කළේය.

ඒ අනුව සිනමන් ග්‍රෑන්ඩ් කළමනාකරණ කණ්ඩායම මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවත්, සමාජ මාධ්‍ය තුළ පළවූ තොරතුරු අනුව වහාම අදාළ පාරිභෝගිකයා සම්බන්ධ කරගෙන අදාළ සමෝසාව පිළිබඳව එල්ල වූ චෝදනාව ගැන ස්වාධීන විද්‍යාගාර පරීක්ෂාවක් සිදු කිරීමට කටයුතු කළ බව පවසයි.

ඒ අනුව අදාළ පාරිභෝගිකයාගේද සහායෙන් පසුගිය අගෝස්තු 11 වැනිදා මෙම සමෝසාව පරීක්ෂාවට ලක් කර ඇත.

එහි ප්‍රතිඵලය ඊයේ, එනම් අගෝස්තු 12 වැනිදා සන්ධ්‍යාවේදී නිකුත්ව ඇති අතර, එහි සඳහන් ආකාරයට සමෝසාව තුළ තිබී ඇත්තේ චුයින්ගමයක් නොවන බවත්, එය බාගෙට පිසුණු පාන් පිටි කැබැල්ලක් බවටත් හඳුනාගැනුණු බව සිනමන් ග්‍රෑන්ඩ් සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

කෙසේ වෙතත් මෙලෙස බාගෙට පිසුණු පාන් පිටි කැබැල්ලක් පවා සමෝසාව තුළ තිබීම පිළිනොගන්නා බව පවසන සාමාන්‍යාධිකාරීවරයා ඉදිරියටත් එවැනි සිදුවීම් හට නොගැනීමට වගබලා ගන්නා බවත් පවසා සිටියි.

එහිදී විශේෂයන්ම සිය පාරිභෝගිකයන්ගේ සුරක්ෂිතතාව සහ පාරිභෝගික සේවාව සිනමන් ග්‍රෑන්ඩ්හි මූලික වටිනාකම් අතර පවතින බවත් සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පවසා ඇත.

Visits: 167