ලංකාවට Paypal දෙන්න ඉන්දියාවේ Paypal නිලධාරීන්ට වුවමනාවක් නෑලු?

ලොව පුරා ව්‍යාප්ත අන්තර්ජාල ගෙවුම් වේදිකාවක් වන Paypalයළිත් වරක් මෙරට තුළ පිහිටුවීම සඳහා වන උත්සාහය තමන් තවදුරටත් ගනිමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. අද පළ කෙරුණු ‘ද සන්ඩේ මෝර්නිං’ පුවත්පතේ ව්‍යාපාරික පිටුව වෙත කරුණු දක්වමින් මහ බැංකුවේ ගෙවිම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩී.කුමාරතුංග මහතා මේ කරුණු සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකාව 2014 වසරේ සිටම මෙම Paypal සේවාව නැවතත් ලබා ගැනීම සඳහා වන උත්සාහයන්හි නිරතව සිටියි. ඒ සඳහා වන මහ බැංකු සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන්ද එකඟතාවකට පත්ව තිබේ. එසේම පසුගිය කාලසීමාවේදී දේශපාලන වේදිකාවේදීද මේ පිළිබඳව වැඩි කතාබහක් ඇති විය. ඒ අතර ඇතැම් දේශපාලනඥයන්ගේ මැතිවරණ පොරොන්දු අතරද මෙම Paypal යළිත් රට තුළ ක්‍රියාත්මක කිරිම පැවතුණි.

විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණික සේවාවන් සපයන මෙරට පිරිස් වෙත මෙන්ම විවිධ සේවා සපයන ව්‍යවසායකයන් වෙත සිය ගෙවීම් ලබා ගැනීම සඳහා මෙම Paypal තාක්ෂණය අතිශය වැදගත් බව අදහස වී ඇත. ඒ හරහා මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගත හැකි බවත් සඳහන් වෙයි.

“ශ්‍රී ලංකාවට යළිත් මේ Paypalපහසුකම ගෙන්වා ගැනීම සඳහා කලාපීය Paypalනිලධාරීන් සමගින් මහ බැංකුව දිගින් දිගටම සාකච්ඡා පවත්වා ගෙන යනවා.” කුමාරතුංග මහතා මෙහිදී සඳහන් කර ඇත.

2018 වසරේදී ශ්‍රී ලංකාව හඳුන්වා දුන් ජාතික මූල්‍ය ඒකාග්‍රතා ක්‍රමෝපාය (National Financial Inclusion Strategy)හරහාද මෙම අන්තර්ජාල ගෙවුම් දොරටුව වෙත සහ මෙම ඩිජිටල් මූල්‍ය සේවාව වෙත අවශ්‍ය පහසුකම් සපයා දුන් බව පුවත්පත පවසයි.

එසේම එම වසරේ ඔක්තෝබර් මාසයේදී රජය නිකුත් කළ නිවේදනයකට අනුව 2020 වසරේ සිට මෙරට තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ පිරිසට Paypal හරහා ගෙවීම් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවත් සඳහන්ව තිබුණි.

කෙසේ වෙතත් කුමාරතුංග මහතා මෙහිදී සඳහන් කර ඇති ආකාරයට Paypal සමාගම යළිත් මෙරට තුළ මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවන්ද මෙතෙක් දැනුම් දී නැත. එහිදී ඉන්දියාවේ Paypal නිලධාරීන් සම්බන්ධ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ උත්සාහයන් කිසිවකටවත්, එම නිලධාරීන් නිසි ප්‍රතිචාරද දක්වා නැත.

“අන්තිමේදී අපිට සිංගප්පූරුවේ පිහිටි Paypal කලාපීය කාර්යාලය හා සම්බන්ධ වෙන්න සිදු වුණා. ඒ හරහා අපි ඉන්දියාවේ නිලධාරීන් වෙත යොමු වුණා. ඊට පස්සේ තමයි මේ Paypal ඉන්දියානු නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණෙන්න ඔවුන්ගේ උනන්දුව දැක්වූයේ.” කුමාරතුංග මහතා පුවත්පත වෙත වැඩිදුරටත් පවසා ඇත.

හෙතෙම පවසන ආකාරයට මෙම Paypal පහසුකම හිමිවීමත් සමගින්ම ශ්‍රී ලාංකිකයන්ට, ගෝලීය ව්‍යාපාර වෙත සිය සේවා ලබා දීමේ අවස්ථාව හිමි වෙයි. මෙම ව්‍යාපාර බොහෝමකගේම ගෙවීම් ක්‍රමවේදය Paypal වීම ඊට හේතු වී තිබේ. එසේම මෙම තත්ත්වය මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වර්ධනය වෙනුවෙන්ද ඉවහල් වෙනු ඇතැයි කුමාරතුංග මහතා පෙන්වා දී තිබේ.

Views: 238