කොළඹ වරාය නගරයේ නිර්මාණ දායකත්වයට විශ්වවිද්‍යාල සිසුන්ට ආරාධනා

ශ්‍රී ලංකාවේ දැවැන්තම ඉදිකිරීම් ව්‍යාපෘතිය වන කොළඹ වරාය නගරය වෙනුවෙන් නිර්මාණශීලී දායකත්වය ලබා දීමට මෙරට විශ්වවිද්‍යාල සිසුන්ට ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන අවස්ථාවක් ලබා දී ඇතැයි කොළඹ වරාය නගරය පවසයි.

Envision the Future ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ වරාය නගර වෙරළෙහි ඉදිකිරීමට යෝජිත නිර්මාණාත්මක මූර්තිය (Beach Sculpture) සහ සන්නිවේදන පවුර (Interactive Wall) වෙනුවෙන් මෙම නිර්මාණශීලී දායකත්වය අපේක්ෂා කරයි.

එහිදී දිවයින පුරා විසිරී පැතිරී සිටින සියලුම විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගෙන් ඊට දාළ නිර්මාණාත්මක යෝජනා ඉල්ලුම් කර ඇත. ඒ සඳහා වන තරගාවලිය සඳහා දැන්ම අයැදුම් කළ හැකි බව කොළඹ වරාය නගරය පවසයි.

මේ අතරින් නගර වෙරළෙහි ඉදිකිරීමට යෝජිත නිර්මාණාත්මක මූර්තිය (Beach Sculpture) සඳහා වන තරගය පසුගිය ජූලි 29 වැනිදා ආරම්භ වී ඇත. ඊට අදාළ නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය 2020 අගෝස්තු 25 වැනිදා වෙයි.

ඒ සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීම ‘සිහිනය (Dream)’ යන තේමාව යටතේ සිදු කළ යුතුව ඇත. අදාළ ආකෘතියේ දිග, පළල සහ උස පිළීවෙලින් මීටර් 4ක් වෙයි.

අගෝස්තු 26 වැනිදා සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා ඉදිරිපත් වූ නිර්මාණ අදාළ ජූරිය මගින් විශ්ලේෂණය කෙරෙන අතර, සැප්තැම්බර් 09 වැනිදා තෝරාගත් මුල් නිර්මාණ තුන ඉදිරිපත් කෙරේ. එසේම සැප්තැම්බර් 10 වැනිදා සිට ඔක්තෝබර් 20 දක්වා එම නිර්මාණ වෙත උපදේශන සේවා ලබා දීම සිදු කරන අතර, ඔක්තෝබර් සිව්වැනි සතියේදී ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කෙරේ.

එසේම ‘ජීවය (Vitality)’ යන තේමාවෙන් යුත් සන්නිවේදන පවුර මීටර් 38ක් දිග (මීටර් 23 සහ මීටර්15ක් ලෙස කොටස් දෙකකි), මීටර් 1.8ක් උස වෙයි. මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීම ද පසුගිය ජූලි 29 වැනිදා ආරම්භ වී ඇත. එය අවසන් වන දිනය සැප්තැම්බර් 08 වැනිදාය. සැප්තැම්බර් 09 වැනිදා සිට 22 දක්වා ජූරියේ විශ්ලේෂණයට  එම නිර්මාණ ලක්වන අතර, සැප්තැම්බර් 23 වැනිදා මුල් නිර්මාණ තුන ප්‍රකාශයට පත් කෙරේ. අනතුරුව සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 18 දක්වා මෙම නිර්මාණ වෙත උපදේශන ලබා දීම සිදු වෙයි. ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීම ඔක්තෝබර් සිව්වැනි සතියේදී සිදු කෙරේ.

ශ්‍රී ලාංකික පුරවැසියන් වන විශ්වවිද්‍යාල සිසුන් සඳහා මෙම තරග වෙත නිර්මාණ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. එසේම 2019/2020 අධ්‍යයන වර්ෂය තුළදී සිය උපාධිය සම්පූර්ණ කළ සිසුන්ටද මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. එසේම තනි තනි වශයෙන් නිර්මාණ ඉදිරිපත් කළ  හැකි අතර, අවශ්‍ය නම් කණ්ඩායමක් වශයෙන්ද නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. එහිදී එක් කණ්ඩායමක සාමාජිකයන් සංඛ්‍යාව තිදෙනෙකි.

මෙම තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු http://www.envisionthefuture.lk/ වෙබ් අඩවිය හරහා ලබා ගත  හැකිය.

Visits: 198