හේලීස් වැවිලි සමාගමේ ක්ෂේත්‍ර නිලධාරීන් වෙත ප්‍රථම වරට NVQ නිපුණතා බලපත්‍ර

හේලීස් වැවිලි සමාගම වෙත අයත් තලවකැලේ වතු සමාගම (TTEL), කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් (KVPL) සහ හොරණ වතු සමාගම (HPL) යන සමාගම් නියෝජනය කරන ක්ෂේත‍්‍ර නිලධාරීන් 100 දෙනෙකු ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වරට වැවිලි ක්ෂේත‍්‍රය සඳහා හඳුන්වා දුන් ජාතික නිපුණතා බලපත‍්‍ර (NSP) වැඩසටහන සහ  ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) සඳහා තෝරා ගැනීමත් සමග එම සමාගම මානව සම්පත් සංවර්ධනය සඳහා නව සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇතැයි පවසයි.

ජාතික නිපුණතා බලපත‍්‍ර (NSP) ක‍්‍රමය යනු ආර්ථිකයේ විවිධ ක්ෂේත‍්‍ර හරහා බලපත‍්‍ර හිමියන්ට ඔවුන්ගේ කුසලතා, විශේෂඳතාවය හා අත්දැකීම එකතු කර ගනිමින් රැකියා සහ ජීවනෝපාය අවස්ථා වැඩි කර ගැනීම අරමුණු කර ගත් පුළුල් e-documentation වැඩසටහනක කොටසකි.

ජාතික නිපුණතා බලපත‍්‍රය යනු ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) තාක්ෂණික සහාය ඇතිව ලංකා සේව්‍ය සම්මේලනය (EFC) ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) කොළඹ කාර්යාලය සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) අතර ඇති කර ගත් ත්‍රෛයි පාර්ශ්වීය මුලපිරීමක්ද වෙයි. එය නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ දියත් කෙරුණකි.

ආචාර්ය රොෂාන් රාජදුරෙයි

මේ පිළිබඳව අදහස් දක්වන හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක, ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා, “නිපුණතා සංවර්ධනය තාක්ෂණය සමඟ එක් වූ විට අපට ප‍්‍රබල නව අවස්ථා නිර්මාණය කිරීමට පුළුවන්. අපගේ සේවකයින්ගේ ජීවන තත්වය ඉහල නැංවීමට අප දරන ප‍්‍රයත්නය සඳහා ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ සමාගමක් ලෙස, ඩිජිටල්කරණයෙන් සවිබල ගැන් වූ ශ‍්‍රම බලකායට එක් වීමට අපගේ සේවකයින්ට සහාය දැක්වීම ගැනත් සමස්තයක් ලෙස ජාතික ආර්ථිකයේ සහ වැවිලි ක්ෂේත‍්‍රයේ දිගුකාලීන අභියෝග විසඳීම සඳහා නව විසඳුම් සොයා ගැනීමට උපකාර කරන පළමු සමාගම වීම ගැනත් හේලීස් වැවිලි සමාගම ආඩම්බර වෙනවා,” යනුවෙන් පවසා සිටියි.

NAITA හි තක්සේරුකරුවන් විසින් තෝරාගත් අවසාන ඇගයීම් සම්පූර්ණ කළ ක්ෂේත‍්‍ර නිලධාරීන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී ජාතික මට්ටමින් පැවති විශේෂ උත්සවයකදී ඇගයීමට ලක් කර තිබේ.

මෙම පහසුකම සඳහා තෝරාගත් ක්ෂේත‍්‍ර නිලධාරීන්ට අවම වශයෙන් ක්ෂේත‍්‍රයේ වසරක පළපුරුද්දක් තිබිය යුතු අතර මූලික හා අවසාන ඇගයීම් වටයන්හි න්‍යායාත්මක හා ප‍්‍රායෝගික අංශ දෙකම සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) විසින් ඇගයීමට ලක් කෙරේ.

තක්සේරු කිරීමේ ක‍්‍රියාවලිය අවසන් වූ පසු අදාල සාමාජිකයා වෙත ඔවුන්ගේ නිපුණතා online හරහා පහසුවෙන් සොයා ගැනීමට හැකි වන පරිදි QR කේතය සහිත SMART කාඞ්පතක් ලෙසින් ඩිජිටල් නිපුණතා බලපත‍්‍රයක්‘ නිකුත් කරනු ඇත.

Views: 62