VIVO සමාගම IPL අනුග්‍රාහකත්වයෙන් ඉවත් වෙයි

ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් සංවිධානය කරන ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා (Title Sponsor) ලෙස කටයුතු කළ VIVOමොබයිල් ඉන්දියා පෞද්ගලික සමාගම 2020 වසරේ තරගාවලියේ සිට ඉන් ඉවත් විමට තීරණය කර ඇතැයි පවසයි.

“ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ VIVO මොබයිල් ඉන්දියා පෞද්ගලික සමාගම අතර ඇති කරගත් එකඟතාවකට අනුව 2020 වසරේ ඉන්දීය ප්‍රීමියර්ලීග් තරගාවලිය සඳහා දක්වන අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.” VIVOමොබියල් ඉන්දියා මාධ්‍ය නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් VIVO සමාගම ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස වසර පහක කාලයකට ගිවිසුම් ගතව සිටියි. 2018 වසරේ ආරම්භවුණු එම එකඟතාව අවසන් වීමට ඇත්තේ 2022 වසරේදීය. මෙම එකඟතාවේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 2,190 ක් විය. එනම් වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 440 කි.

ඉන්දියාවේදී පැවැත්වෙන දැවැන්තම ක්‍රිකට් තරගාවලිය සඳහා චීනයේ ජංගම දුරකතන සමාගමක් ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වීම සම්බන්ධයෙන් ආසන්න කාලසීමාවේදී ඇති වූ දැඩි විරෝධතා මෙලෙස එම සමාගම ඉන් ඉවත්විමට හේතු ලෙස වාර්තා පවසයි. පසුගිය ජූනි මාසයේදී ඉන්දීය  – චීන දේශසීමාවේදී චීන සෙබලුන් අතින් ඉන්දීය සෙබලුන් පිරිසක් ඝාතනය වීමේ අවස්ථාවද මෙම විරෝධය වැඩි කිරීමට දායක වී ඇත.

මෙම පසුබිමත් සමගින්ම ඉන්දියාව එරට තුළ ක්‍රියාත්මක වූ චීන සමාගම් කිහිපයක්ම තහනම් කිරීමට කටයුතු යොදා තිබුණි. එහිදී බයිට්ඩාන්ස් සමාගමට අයත් TikTokවැඩසටහන, අලිබාබා සමාගමේ UC Browser, ටෙන්සෙන්ට් සමාගමේ We chat, Helo, Weibo, Baidu mapඇතුළු තවත් චීන ඇප් වැඩසටහන් 52ක් තහනම් කෙරිණි.

ඒ අනුව ලබන සැප්තැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භවීමට නියමිත 13 වැනි ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයෙකු සොයා ගැනීමට එහි සංවිධායකයන්ට සිදුව තිබේ. සැප්තැම්බර් 19 වැනිදා සිට නොවැම්බර් 10 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පසුගි මාර්තු 29 වැනිදා ඉන්දියාවේදී ආරම්භවීමට නියමිතව තිබූ මෙම ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 13 වැනි අදියර නව කොරෝනාවේ බලපෑම හේතුවෙන් අත්හැර දැමීමට සිදු විය.

Visits: 40