පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය ඍණ වීමත් සමග ඊයේ (05දා) ආයෝජන ආකර්ෂණය පහළට

ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පසුගිය අගෝස්තු 04 (පෙරේදා) වැනිදා නිකුත් කළ ජාතික ගිණුම් ඇස්තමේන්තුව යටතේ 2020 වසරේ පළමු කාර්තුව සඳහා වන දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඍණ අගයක් ගැනීමත් සමග ඊයේ (05දා) කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජන ආකර්ෂණය පහළ වැටුණු බව වෙළෙඳ පොළ තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව ඊයේ (2020 අගෝස්තු 05) දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ඍණ අගයක් ගෙන තිබුණි.

මෙහිදී පැය එකහමාරකට පමණක් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සීමා වී තිබුණත් මහ මැතිවරණයේ උණුසුමත් සමගින්ම ආයෝජන ආකර්ෂණය යම් ඉහළ යමක් පෙන්නුම් කරනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබුණි.

මේ තත්ත්වයත් සමගින්ම ඊයේ දිනයේදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  ඒකක 5,146.44 ත් ඒකක 5,182.35ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,146.44ක් බවට පත්විය. ඒ අනුව පෙරේදා (අගෝස්තු 04 දාට) සාපේක්ෂව එය ඒකක 20.37 ක් එනම් -0.39%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

ඊයේ දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 40ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 85 ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+1.1), ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී AEL (+0.8), සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී SUN (+0.6), එච්එන්බී ෆයිනෑන්ස් පීඑල්සී HNBF (+0.6), ටීජේ ලංකා පීඑල්සී TJL (+0.4), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-3.4), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (-3.1), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (-2.4), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (-2.2)  සහ ලංකා ඔරික්ස් ලීසිං පීඑල්සී LOLC (-1.4) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,209.67 ක අගයක් ගත් අතර, එය පෙරේදා (අගෝස්තු 04ට) සාපේක්ෂව ඒකක 5.41 ක එනම් -0.24%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 604ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙරේදා (අගෝස්තු 04) වාර්තා කළ රුපියල් බිලියන 1.20 සාපේක්ෂව 50%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.42 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ඊයේ දිනය දක්වා 15.05%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, ඊයේ දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 8.18ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 172.51ක අගයක් ගෙන තිබේ.

මේ අතර, දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 146.33 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 24.55ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 2.79 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 74.82ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 299 ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ ක්ෂේත්‍රය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 38% ක අගයක් ගෙන තිබේ. එසේම බැංකු සහ ද්‍රව්‍යමය නිෂ්පාදන ක්ෂේත්‍රය එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 153ක සහ රුපියල් මිලියන 75ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 157