උතුරු කොළඹට ජලය ගෙන යන ප්‍රංශයේ SUEZ ව්‍යාපෘතිය

උතුරු කොළඹ ප්‍රදේශයේ ජනතාව වෙත පානීය ජලය රැගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය සම්පාදනය යටතේ ප්‍රංශ ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් කැලනි ගග ආශ්‍රිතව සිදු කෙරෙන ‘SUEZ’ ව්‍යාපෘතිය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ලැවෙර්ටු එරික් පවසයි.

පසුගියදා මෙම ව්‍යාපෘතිය නිරීක්ෂණය සඳහා සහභාගි වූ අවස්ථාවේ ලබා ගත් ඡායාරූප කිහිපයක් සිය ට්විටර් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කරමින් තානාපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය විසින් ප්‍රංශයේ SUEZ සමාගම වෙත 2016 වසරේදී මෙම ව්‍යාපෘතිය සැලසුම් කිරීම සහ ඉදිකිරීම ප්‍රදානම කර තිබුණි. කැලණි ගඟ ඉවුර පානීය ජල සම්පාදන ව්‍යාපෘතිය ලෙස නම් කෙරුණු මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වටිනාකම යූරෝ මිලියන 168 කි.

මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමත් සමගින්ම උතුරු කොළඹ වෙසෙන ජනතාවට දිනකට ජලය ඝන මීටර් 360,000ක් සැපයීම අරමුණ වී තිබේ. රටෙහි ආර්ථිකය සංවර්ධනයවීම හා ක්‍රමිකව නාගරීකරණයවීමත් සමගින්ම උදා වන පානීය ජල අවශ්‍යතාවන් වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන බව ප්‍රංශයේ SUEZ සමාගම සඳහන් කරයි.

Views: 60