නහීල් විජේසූරිය ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් ගොඩ වැඩි කරගනියි

ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා වන මුතුකුඩ නහිල් විජේසූරිය මහතා පසුගිය සිකුරාදා (ජූලි 31දා)  දිනයේදී සිදු කළ ගනුදෙනුවක් හරහා තමන් සතු සමාගමේ කොටස් ප්‍රමාණය 36.99%ක් දක්වා ඉහළ නංවා ගැනීමට කටයුතු කර ගෙන ඇතැයි කොළඹ කොටස් වෙළෙඳපොළ තොරතුරු වාර්තා පවසයි.

සිය පුත්‍රයා වන විජිත විජේසූරිය මහතා සතුව තිබූ කොටස් මිලියන 27.7ක් (27,765,115) කොටසක් රුපියල් 11 බැගින් මිලදී ගැනීමත් සමගින්ම නහිල් විජේසූරිය මහතා මෙම අත්පත් කරගැනීම සිදු කර ඇත. එය සමස්ත ඡන්ද හිමි කොටස් ප්‍රාග්ධනයෙන් 20.08 කි.

ඒ අනුව 2020 ජූලි 31 වැනිදා වනවිට නහිල් විජේසූරිය මහතා සතුව ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගමේ සාමාන්‍ය කොටස් අතරින් කොටස් 51,131,610ක් අයත් බවත් එය සමාගමේ ඡන්ද හිමි කොටස් ප්‍රාග්ධනය අතරින් 36.99%ක් බවත් සඳහන් වෙයි.

මේ අතර එම සමාගමේ විධායක අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ නහිල් විජේසූරිය මහතාගේ දියණිය වන අනිකා විජේසූරිය මහත්මිය පසුගිය ජූලි 28 වැනිදා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වූ බවත් අද දිනයේ පළ වූ ඩේලි එෆ්ටී පුවත්පතේ සඳහන්ව තිබේ. එම අවස්ථාව වනවිට ඇය සතුව සමාගමේ කොටස් මිලියන 29.9ක් පැවැති බවත්, එය සමස්ත කොටස් අතරින් ප්‍රතිශයක් ලෙස 21.5%ක් වූ බවත්  පැවසෙයි.

මෙරට සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නහිල් විජේසූරිය මහතා 1977 වසරේ සිට මේ දක්වා ඊස්ට් වෙස්ට් ගෘප් ඔෆ් කම්පැනීස් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කරයි. ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් පීඑල්සී එම සමාගමේම පූර්ණ අනුබද්ධිත සමාගමකි.

ලංකාවේ පළමු පැය 24 පුරා ක්‍රියාත්මක වන රූපවාහිනි නාලිකාව ලෙස ETV (Extra Terrestrial Vision) නාලිකාව ආරම්භ කළේ නහිල් විජේසූරිය මහතාය. එවකට ETV1 සහ ETV2 ලෙස මෙම නාලිකා ක්‍රියාත්මක විය. අද දවසේදී ETV සහ ස්වර්ණවාහිනි ලෙස ක්‍රියාත්මක වන්නේ මෙම නාලිකා ද්විත්වයයි. එසේම ඒ මහතා සුප්‍රසිද්ධ සිලෝන් ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලයේ මෙන්ම මාතර වැලිගම මැරියට් හෝටලයේද හිමිකරුවා ලෙස කටයුතු කර තිබුණි.

Visits: 558