සුපිරි වෙළෙඳ සැල් අතර ලාබාලයා පෙන්වූ මිත්‍රත්වය

පසුගිය ජූලි 30 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර මිත්‍රත්වයේ දිනය වෙනුවෙන් නවමු ආකාරයේ ප්‍රවර්ධන කටයුත්තක් සිදු කරන්නට ඉතාමත් මෑතකදී මෙරට සුපිරි වෙළෙඳ සැල් අතරට පිවිසි සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් කටයුතු යොදා තිබුණි.

එහිදී ඔවුන් සිය ජ්‍යෙෂ්ට, වැඩිමහල් මෙන්ම සමකාලීන අනෙකුත් සුපිරි වෙළෙඳ සැල් සන්නාමද යොදා ගනිමින් ෆේස්බුක් පෝස්ටුවක් පළ කළේ මෙම ක්ෂේත්‍රය තුළ තවමත් ප්‍රමාණවත් මෙන්ම වඩාත් වැඩි අවකාශයක් මේ සියලු දෙනාටම පවතින බව පවසමිනි.

දැනට රටෙහි ක්‍රියාත්මක පෞද්ගලික සමාගම් වෙත අයත් සුපිරි වෙළෙඳ සැල්හි ගමන්මලු තුළ භාණ්ඩ පුරවා ඒවා සියල්ල මේසයක් මත තැන්පත් කරමින් ඔවුන් මෙම අදහස ඉදිරිපත් කර තිබුණි. එහිදී කීල්ස්, ආර්පිකෝ, කාර්ගිල්ස් මෙන්ම මෑතකදී ඇරඹුණු ස්පාර් සුපිරි වෙළෙඳ සැලේ ගමන් මල්ලද විය.

කෙසේ වෙතත් මෙම ප්‍රවර්ධන නිර්මාණය තුළ ලාෆ්ස් සුපිරි වෙළෙඳ සැල් ජාලයේ සන්නාමය හෝ එහි ගමන් මල්ල නොවීම අඩුපාඩුවක් බව ඇතැම් පිරිසගේ අදහස වී තිබේ.

එහෙත් ග්ලෝමාර්ක් ආයතනයද සිය ෆේස්බුක් පිටුව තුළ සටහන් කළ වැකියේ නම් ලාෆ්ස් සුපර් යන්න සඳහන් වෙයි.

එහිදී තමන්ට ලාෆ්ස් සුපර් අමතක නොවුණු බවත්, එහි ගමන් මල්ලක් සොයා ගැනීමට උත්සාහ කළද අවාසනාවකට එය සාර්ථක නොවූ බවත් සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක්  එහි සඳහන් කර තිබේ. එහෙත් ඔවුන්ද තවදුරටත් තම මිතුරන් බව ග්ලෝමාර්ක් එහි සටහන් කර ඇත.

මේ අතර, මෙරට ක්‍රියාත්මක පිළිගත් විද්‍යුත් මාධ්‍ය ආයතන පවා සමීක්ෂණ ආයතනවලින් ලබා දෙන ප්‍රතිඵල ඉදිරිපත් කිරීමේදී එම දැන්වීම්වල තම මාධ්‍ය ආයතනයේ සන්නාමය පමණක් ප්‍රසිද්ධියට පත් කරමින්, අනෙකුත් සහෝදර මාධ්‍ය ආයතනවල සන්නාම ඉතාමත් අශිෂ්ට ලෙස අපැහැදිලි කර පෙන්වන පසුබිමක, අලුතින්ම ව්‍යාප්ත වන සුපිරි වෙළෙඳ සැල් ජාලයක් ලෙස  සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් සිය සහෝදර, තරගකාරී සුපිරි වෙළෙඳ සැල් සන්නාමද එලෙසින් ප්‍රසිද්ධ කිරීම අගය කළ යුතු අවස්ථාවකි.

Views: 96