SEC වෙතින් දේපළ වෙළෙඳාම් ආයෝජන භාරය (REITs) පිළිබඳ ක්‍රියාරාමුවක් හඳුන්වා දෙයි

දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ සිය මුදල් ආයෝජනය කරමින් යම් ආදායමක් උපයා ගැනීම සඳහා කැමැත්තක් දක්වන ආයෝජකයන් වෙත පහසුකම් සැලසීමේ අරමුණින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හඳුන්වා දෙන නව දේපළ වෙළෙඳාම් ආයෝජන භාරය (REITs  – Real Estate Investment Trusts) පිළිබඳ ක්‍රියාරාමුවක් කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත පසුගියදා හඳුන්වාදුන් බව එම කොමිෂන් සභාව පවසයි.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතා අතින් මෙම ක්‍රියාරාමුව පසුගියදා කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා වෙත ලබා දීම සිදුවිය.

වර්තමානයේදී මෙරට දේපළ වෙළෙඳාම්හි පවතින ඉහළ මිළ ගණන් හේතුවෙන් බොහෝ පිරිසකට එවැනි දේපළ වෙළෙඳාම් ආයෝජන වෙත මුදල් යෙදවීමේ අපහසුතාවක් පවතින බව හඳුනාගෙන තිබීම මෙලෙස දේපළ වෙළෙඳාම් ආයෝජන භාරයක් හඳන්වාදීමට හේතුව බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසයි.

පවතින මෙම තත්ත්වය යටතේ රටෙහි සිදුවන දේපළ වෙළෙඳාම් සහ යටිතල පහසුකම් සංවර්ධනය හරහා ලැබෙන ප්‍රතිලාභ මෙරට ජනතාවගෙන් වැඩි ප්‍රමාණයකට අත් නොවන බවත් එම කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව මෙම තත්ත්වය මඟහරවමින් එම උනන්දුව සහිත ජනතාවට ප්‍රධානම වාණිජ සහ නිවාස දේපළ වෙළෙඳ ක්ෂේත්‍රය තුළ ආයෝජනය කරමින්, දේපළ වෙළෙඳාමට අදාළ ආදායමක් ලබා ගනිමින් දිගුකාලීන වටිනාකමක් ලැබෙන ආයෝජනයක ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි සඳහන් වෙයි.

1997 වසරේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත සාංගමික බැඳුම්කර හඳුන්වාදීමෙන් වසර 23ක‍ට පසුව ඒ වෙත හඳුන්වා දුන් පළමු අලුත්ම නිෂ්පාදනය ලෙසද මෙය සැලකෙයි.

මෙම නව හදුන්වාදීම හරහා බොහෝ දේපළ වෙළෙඳාම් හිමිකරුවන්/සංවර්ධනකරුවන් වෙත ඉක්මණින්ම ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බවත්, එසේම ආයෝජකයන් වෙත මෙන්ම සමස්ත රටටම මින් ලැබෙන ප්‍රතිලාභද අතිමහත් බවත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසයි.

මෙම නව දේපළ වෙළෙඳාම් ආයෝජන භාරය පිළිබඳ තොරතුරු ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ හරහා ඉදිරියේදී සවිස්තරාත්මක පළ කිරීමට සූදානමින් සිටියි.

Visits: 230