රාවණ යුගයේ විමාන, ඩ්‍රෝන ‍තාක්ෂණයෙන් ලංකාවේ අහසට

වේගවත්ව භාණ්ඩ හා සේවා ප්‍රවාහය සඳහා නවීන තාක්ෂණයෙන් යුතු ඩ්‍රෝන යානා යෙදවෙන අලූත් ආයෝජනයකට අනුමැතිය ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරය පවසයි.

එම්.එම්.බී.එල්.පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ පාත්ෆයින්ඩර් කැපිටල් ආයතනය විමාන ඩ්‍රෝන යානා ශ්‍රී ලංකාවේ අභන්තර අවශ්‍යතා සඳහා වානිජ වශයෙන් භාවිතා කරන මුලික අධ්‍යයන කටයුතු අවසන් කර ඇති අතර, ඉතා ඉක්මනින් සේවයට යෙදවිය හැකි වනු ඇතැයි පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ බර්නාඩ් ගුණතිලක මහතා සඳහන් කරයි.

කොවිඩ් -19 වසංගත තත්ත්වයට පසු අලූත් ආයෝජනයක් වශයෙන් එම සමූහ ව්‍යාපාරය නව ප්‍රවනතා කෙරෙහි සිය අවධානය යොමු කර ඇති අතර, ඉතාම දියුණු තාක්ෂණය භාවිතා කරන ඇමරිකානු සහ ඊශ්‍රායල සමාගම් දෙකක් සමග පාත්ෆයින්ඩර් කැපිටල් ආයතනය ව්‍යාපාරික සම්බන්ධතා තහවුරු කරගෙන ඇති බව ද හෙතෙම පවසා සිටී.

නවතම ඩ්‍රෝන යානා ‘පාත්ෆයින්ඩර් විමාන’ වශයෙන් නම් කර ඇති අතර, වසර දහස් ගණනකට කලින් විමාන යනුවෙන් අහසේ ගමන් බිමන් සඳහා භාවිතා කරන යානා ගැන සංස්කෘත කෘති වල සඳහන් වෙයි. ලංකාවේ විසූ රාවණ රජු ‘පුශ්පකර විමන’ යනුවෙන් ආකාශ යානාවක් භාවිතා කරන ලද බව රාමායනය ග්‍රන්ථයෙහි සඳහන්ව තිබේ.

මෙම ඓතිහාසික උරුමය අනුව පාත්ෆයින්ඩර් සමාගම ශ්‍රී ලංකාවේ වානිජ ඩ්‍රෝන මෙහෙයුම් විමාන වශයෙන් නම් කරනු ඇත. එහිදී කෘෂිකාර්මික, ඖෂධ ඛෙදාහැරීමේ හදිසි අවස්ථා සහ මිනුම් නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් පළමු අදියර යටතේ භාවිතා කෙරේ.

එම්.එම්.බී.එල්. පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරය මෙරට ගුවන ආශ්‍රිත ආයෝජනයන් හි ප්‍රමුඛ කාර්ය භාරයක නිරතව ඇති අතර ලෝකයේ ප්‍රධාන ගුවන් ප්‍රවාහන සමාගම් සමග හවුල් ව්‍යාපාර මෙහෙයවා අත්දැකීම් සහිතය. ගුවන් තොටුපොල හා ජලාශ වල සිට රට පුරා සංචාරය කළ හැකි සිනමන් එයාර් අභ්‍යන්තර ගුවන් සේවාව ද මෙම ආයතනයට අනුබද්ධ හවුල්කාර සමාගමකි.

Views: 65