මැතිවරණ නීතිය අනුව සංචාරක සහනය කොටස් දෙකකට

කොවිඩ්19 වසංගතය නිසා පීඩාවට පත්ව ඇති සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන්ට සහ සංචාරක රියදුරන්ට දීමනාවක් ලබා දීමේ රජයේ වැඩසටහන සඳහා මැතිවරණ කොමිෂන් සභාව සීමාවක් පනවා ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි මෙම පිරිස වෙත ගෙවීමට නියමිතව තිබූ මුදලින් රුපියල් 10,000ක් පමණක් මුලින් ගෙවීමට කටයුතු යොදන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

පසුගිය මැයි 29 වැනිදා ඉදිරිපත් කෙරුණු කැබිනට් පත්‍රිකාව අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාංපදිචි සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් වෙත පිළිවෙලින් රුපියල් 20,000ක හා 15,000ක දීමනාවක් එක්වරක් ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020 ජූනි 19 දිනැති ලිපිය මගින් මෙම දීමනාව අත්හිටුවා, රුපියල් 10,000ක මුදලක් පමණක් දැනට ලබාදීමට කටයුතු කරන්න යැයි අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇතැයිද එම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව තවත් අමතර මුදලක් ගෙවිය යුතු නම් එම මුදල අගෝස්තු 10 වැනිදායින් පසුව ගෙවීම සුදුසු බව සභාපතිවරයා මෙහිදී ලේකම්වරයා වෙත දන්වා ඇත.

මේ තත්ත්වයත් සමග මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා අනුමත කර ඇති ආකාරයට එම මුදල් ගෙවන ලෙස තමන් අමාත්‍යාංශයට උපදෙස් දුන් බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම සහන පැකේජයෙන් සංචාරක කර්මාන්තයේ නියුත් 144,000කට ආසන්න පිරිසකට සහන ලැබීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 57