අඩු මිලට සූර්ය විදුලිය මිලදී ගැනීමෙන් මණ්ඩලයට ලක්ෂ 2,737ක් ලාභයිලු

විදුලි ඒකකයක් රුපියල් 10කට වඩා අඩුවෙන් ලබාදීමට ඉදිරිපත්ව ඇති පෞද්ගලික ආයතන මගින් පමණක් සූර්ය බල විදුලිය මිලදී ගැනීමට යොමුව ඇති නිසා විදුලි බල මණ්ඩලයට වසරකට රුපියල් ලක්ෂ 2,737ක මුදලක් ඉතිරි කරගත හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප වසයි.

මෙලෙස සූර්ය බල විදුලිය මිලදී ගැනීම සඳහා අවම තරගකාරී මිල ගණන් කැඳවීම හේතුවෙන් එක් ඒකකයකින් රුපියල් 10ක ඉතිරියක් සිදුවීම මෙම ලාභයට හේතුව බව එම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා පැවැති අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචනයේදී කරුණු දක්වා ඇත.

මේ අතර, 2020 වසරේ තෙවැනි කාර්තුව සඳහා පුනර්ජනනීය විදුලිය වශයෙන් සූර්ය බල විදුලිය මෙගාවොට් 150ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය විසින් අනුමැතිය ලබා දුන් බවද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර ඇත.

“මෙගාවොට් එකක් යනු ඒකක 5000 කි. මෙගාවොට් එකකින් ඉතිරි වන මුදල රුපියල් 50,000 ක්. ඒ අනුව දිනකට ඉතිරි වන මුදල රුපියල් 7,50,000 ක් පමණ වෙනවා. වසරකට ඉතිරි කර ගත  හැකි මුදල රුපියල් ලක්ෂ 2,737ක්.” අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

එමෙන්ම වසරේ සිව්වැනි කාර්තුව සඳහා තවත් මෙගාවොට් 15ක සූර්ය විදුලි බල මිලදී ගැනීමකටද නියමිත අතර, ඒ අනුව මෙම වසර අවසන් වන විට ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ 5,474ක මුදලක් ඉතිරි කර ගැනීමට අවස්ථාව හිමි වන බවත අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

“පාඩු ලබමින් සිටින ලංකා විදුලි බල මණ්ඩලය 2023 දී ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට රජය සැලසුම් කර තිබෙන වැඩපිළිවෙල යටතේ මෙම මුදල් ඉතිරිය වඩාත් ඵලදායි අවස්ථාවක්.” අමාත්‍යවරයා පවසා ඇත.

මේ අතර, රජය සතු සෑම ශතයක්ම වඩාත් ඵලදායිවන ආකාරයෙන් යොදා ගැනීමටත්, සෑම වියදමක්ම වඩාත් විනිවිදභාවයෙන් යුක්තව පරිහරණය කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

Visits: 118