එන්ට්‍රස්ට්හි තැන්පත්කරුවන්ට සහන දීම සොයා බැලීමට කමිටුවක්

මහ බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික ගැනුම්කාර සමාගමක් ලෙස හඳුන්වාදෙමින් ක්‍රියාත්මක වූ එන්ට්‍රස්ට් සෙකියුරිටීස් හරහා ආයෝජනය කෙරුණු සීමාසහිත නැගෙනහිර හේවාගම් කෝරළයේ සමූපාකාර සමිතියේ තැන්පත්කරුවන් 60,000 කට අධික පිරිසකගේ රුපියල් මිලියන 507.59 ක මුදලක් ආපසු ගෙවීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන බව රජය පවසයි.

අදාළ සමූපාකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2015 වසරේ සිට අවස්ථා 5කදී මෙම එන්ට්‍රස්ට් සමූහයට අයත් එන්ට්‍රස්ට් සෙකියුරිටීස් සමාගම හරහා එම මුදල් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇති බව අනාවරණය වී තිබේ.

එහෙත් එකී ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත ප්‍රාථමික ගැනුම්කාර සමාගමක් නොවන බව පසුව හෙළිවී ඇති අතර, මේ වනවිට එම සමාගම බුන්වත් සමාගමක් ලෙස නම් කිරීමටද මහ බැංකු කටයුතු යොදා ඇත. එසේම කොළඹ කොටස් වෙළෙඳ පොළද එකී සමාගම පසුගියදා සිය ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කෙරිණි.

ඒ අනුව, අදාළ සමාගම තුළ තැන්පත් කෙරුණු අදාළ  මුදල අය කරගැනීමට නොහැකි වීමෙන් එම තැන්පත්කරුවන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි රජය පවසයි. එහිදී ඔවුන් වෙත සහනයක් ලබා දීමට අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුභසාධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පසුගියදා පැවැත් වුණු කැබිනට් තීරණ දැනුම්දීමේදී අදහස් දැක්වූ කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, මෙම වංචාව හේතුවෙන් සීමාසහිත නැගෙනහිර හේවාගම් කෝරළයේ සමූපාකාර සමිතියේ තැන්පත්කරුවන් 60,000 කට අධික පිරිසකගේ මුදල් අහිමිවී ඇතැයි සඳහන් කළේය.

“මේ කාරණාව නිසා අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසයේ පුද්ගලයන් 60,000කට පමණ තමන් තැන්පත් කළ මුදලයි පොළියයි දෙකම අහිමි වීමෙන් රුපියල් කෝටි ප්‍රකෝටි අලාභයක් සිදුව තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ එම ජනතාව විවිධ උද්ඝෝෂණ ව්‍යාපාර, පිකටිං ව්‍යාපාර සියල්ල කළා. මොවුන් මූල්‍ය සමාගම්වල මුදල් තැන්පත් කළ අය නෙමෙයි. සමූපකාර සමිතියක මුදල් තැන්පත් කළ අය. මෙයින් වඩාත්ම පීඩනයට පත් වෙලා තියෙන්නේ ගම්බදව ජීවත් වන අහිංසක දිළිදු ජනතාවයි.”

ඒ අනුව ඉදිරි කාලපරිච්ඡේදයේදී රජයේ මැදිහත්වීමෙන් හෝ එම ජනතාව තැන්පත් කළ මුදල හෝ ගෙවීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා එම කරුණු පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත විෂයානුබද්ධ කමිටුවක් පත් කිරීමට අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුභසාධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

“මෙම සමූපකාර සමිතිය මෙවැනි තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්වයන් සොයා බලා ඔවුන්ට දඩුවම් පමුණුවන්නත් රජය අවශ්‍ය විධිවිධාන යොදනවා. ඒ නිසා මෙතෙක් එම මුදල් ලැබීම සම්බන්ධයෙන් මෙතෙක් බලාපොරොත්තුවක් නොතිබූ තැන්පත් කරුණක්ට දැන් ඒ පිළිබඳ අවම විශ්වාසයක් හෝ ඇතිව තිබෙනවා.” යනුවෙන්ද සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Views: 114