‘මේක් ඉන් ඉන්දියා’ නිසා iPhone11 නිෂ්පාදනය චීනයෙන් ඉන්දියාවට?

ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ ඇපල් සමාගමේ නවතම ස්මාට් දුරකතන මාදිලිය වන ඇපල් අයිෆෝන් 11 (Apple iPhone11) නිෂ්පාදනය නිරීම ඉන්දියාවේ උතුරුදිග චෙන්නායි නුවර පිහිටි ෆොක්ස්කොන් කර්මාන්තශාලාවේදී සිදු කිරීමට තීරණය කෙරී ඇතැයි වාර්තා පවසයි.

ඉන්දීය වාණිජ අමාත්‍ය පියුෂ් ගොයාල් පසුගිය සති අන්තයේදී සිය ට්විටර් ගිණුම හරහා මෙම කරුණ අනාවරණය කළේය. “මෙය මේක් ඉන් ඉන්දියා (ඉන්දියාව තුළ නිපදවන්න) යන සංකල්පය සඳහා ලැබුණු විශාල දිරිදීමක්. ඇපල් සමාගම ඔවුන්ගේ අයිෆෝන්  11 ස්මාට් දුරකතනය ඉන්දියාවේදී නිපදවන්න තීරණය කරලා. සමාගමේ මුල් පෙළේ ස්මාට් දුරකන මාදිලියක් ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන පළමු අවස්ථාව මෙයයි.” ඔහු එහිදී පවසා ඇත.

විශේෂයෙන්ම ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක ‘මේක් ඉන් ඉන්දියා’ මුලපිරීම හරහා ලබා දී ඇති පහසුකම් හේතුවෙන් ඇපල් සමාගම සිය නවතම නිෂ්පාදනය එහිදී සිදු කිරීමට යොමුව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.

පසුගිය මාසයේදී ඉන්දියාව එරට තුළ ස්මාට් දුරකතන නිෂ්පාදනය කිරීමට උනන්දු සමාගම් වෙත එක්සත් ජනපද ඩොලර් බිලියන 6.6ක සැලසුමක්ද ඉදිරිපත් කර තිබුණි.

දැනට වාර්තා වන ආකාරයට ඉන්දියාව තුළ නිෂ්පාදනය කෙරුණු මෙම ඇපල් අයිෆෝන්11 මාදිලියේ ඒකක ස්වල්ප ප්‍රමාණයක් සිල්ලර වෙළෙඳ සැල් සඳහා නිකුත් කර තිබේ. එහිදී නිෂ්පාදනය යම් සීමාවකින් සිදු කිරීමට ඇපල් සමාගම තීරණය කර ඇති අතර, ඉදිරියේදී ඉන්දියාව තුළ සිය නිෂ්පාදන මෙහෙයුම් වැඩි කිරීමටත් සැලසුම් කර ඇතැයි පවසයි.

එසේම ඇපල් අයිෆෝන් SE 2020 මාදිලියේ ස්මාට් දුරකතනයක් බැංගලෝරය ආසන්නයේ පිහිටි සිය විස්ට්‍රෝන් කර්මාන්තශාලාව තුළදී නිපදවීමටද ඇපල් සමාගම අදහස් කරගෙන සිටින බවත් සඳහන් වෙයි.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇපල් සමාගම ඉදිරියේදී චීනයත් සමගින් පවතින සිය නිෂ්පාදන සබඳතා අත්හැරීමේ මූලික අවස්ථාවක් ලෙසටද ඇතැම් පිරිස් මෙය හඳුන්වා දෙයි. අදටත් ඇපල් සමාගමේ වැඩිම ස්මාට් දුරකතන මාදිලි ප්‍රමාණයක නිෂ්පාදකයා වන්නේ චීනයයි.

එසේම ලොව දෙවැනි විශාලම ස්මාට් දුරකතන වෙළෙඳ පොළ වන ඉන්දියාව ඉලක්ක කරගනිමින් ඇපල් සමාගම මෙම තීරණයට පිවිසෙන්නට ඇතැයිද ඇතැමුන් සඳහන් කරයි.

ඇපල් සමාගම වසර කිහිපයක් පුරාම ඉන්දියාව සමගින් එක්ව සිය නිෂ්පාදන කටයුතු සිදු කිරීමට බලාපොරාත්තුව සිටියත්, එම නිෂ්පාදන සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු සොයා ගැනීමේ අර්බුදයට මෙන්ම එම නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය ආරක්ෂා කරගැනීම යන කරුණු සම්බන්ධයෙන්ද ගැටලුවකට මුහුණ දී සිටි බව පැවසෙයි.

Visits: 205