කොවිඩ්-19 රටේ ව්‍යාපාරවලට ලැබුණු වෙස්වලාගත්ත ආශිර්වාදයක් කරගමු – කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න

අප රටට පමණක් නොව සමස්ත ලෝකයටම බලපෑම් එල්ල කර තිබෙන නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සුළු පටු නොවේ. මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරද මෙහිදී දරුණු ලෙස පීඩාවට පත්ව තිබේ. පෙර නොවූවිරූ මෙම තත්ත්වයන් මඟහරවා ගනිමින් එම ව්‍යාපාර යළිත් යථා තත්ත්වයට පත් කරගැනීමට තවත් කොතරම් කාලයක් ගතවේද යන්නත් අවිනිශ්චිතය. ඒ කෙසේ වෙතත් මෙම උදා වූ අවස්ථාවෙන්ද නව ව්‍යාපාරික මාවත් විවර කරගත හැකි බව නොරහසකි. පවතින මේ තත්ත්වයත් මෙරට ව්‍යාපාරවල ඉදිරි අනාගතයත් පිළිබඳව ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ අපි පසුගියදාක කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතාගෙන් කරුණු විමසුවෙමු.

කොවිඩ්-19 නිසා කුඩා ව්‍යාපාරවලට සිදු වුණු බලපෑම මොන වගේද?

ලංකාවේ කුඩා ව්‍යාපාරයේ නිරත පිරිස ගත්තොත් වැඩියෙන්ම ඉන්නේ එක්කෝ ඇගලුම් ක්ෂේත්‍රය එහෙමත් නැත්නම් ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරත පිරිස්. මේ කොරෝනා එහෙමත් නැත්නම් කොවිඩ්-19 වසංගතය රටට එන්නේ අවුරුදු උත්සව සමයේදී. අනෙක් ව්‍යාපාරිකයන්ට වගේම මේ කුඩා ව්‍යාපාරිකයන්ටත් හොඳම කාලය ඒක.

ඒ කියන්නේ මේ වසංගතයේ බලපෑම ඉතාමත් දරුණු විදියට මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය වෙත බලපෑවා. පසුගිය වසරේදීත් බෝම්බ ප්‍රහාර නිසා අප්‍රේල් මාසයේදී මේ දේම වුණා. ඒත් ඒ වෙන කොට නව අවුරුදු සමය නිමා වෙලයි තිබුණේ. ඒ නිසා එතරම්ම බලපෑමක් වුණේ නෑ.

මේ ප්‍රශ්නයත් එක්කම සිය භාණ්ඩ තොග තියෙන අයට ඒවා විකුණා ගැනීමේ ගැටලු ආවා. එදිනෙදා ව්‍යාපාරයට යොදවන්න තිබුණු කාරක ප්‍රාග්ධනය යම් ප්‍රමාණයකින් පාරිභෝගික භාණ්ඩ මිලදී ගන්න වැය වෙලා. ඒ වගේම තමයි දැන් ආනයන සීමා කිරීමක් සිදු වෙලා නිසා ඇතැම් ව්‍යපාරිකයන්ට තමන්ගේ නිෂ්පාදන සිදු කරගන්න අමුද්‍රව්‍ය නැති ගැටලුවකුත් තියෙනවා.

හැබැයි මේ අර්බුදයෙන් මතු වුණු යහපත් කාරණාත් තියෙනවා නේද?

පැහැදිලිවම ඔව්. මෙය අපිට ධනාත්මක විදියටත් යොදවා ගන්න පුළුවන් දෙයක්. එක උදාහරණයක් තමයි මිනිස්සු තමන්ගේ නිෂ්පාදන අඩුවෙලා ආදායම අඩු වෙන කොට වියදමත් අඩු කරන්න පටන් ගත්තා. ජීවත්වීමේ ශේෂ පත්‍රය ගත්තොත් ආදායමට අනුව ජීවත්වීමට මිනිස්සු පුරුදු වුණා.

අනිත් කාරණය තමයි පිටරටින් දැන් භාණ්ඩ ආනයනය කිරීමේ යම් සීමාවක් පනවලා තියෙනවා. ඒ වගේම නැව් ගමනාගමනයේ ගැටලු නිසා පාරිභෝගික භාණ්ඩ වෙනදා තරමින් එන්නෙත් නැහැ. ඒ අතරේ දේශීය දේවල් කන්න බොන්න ඕනේ කියන ජනමතයක් ඇති වුණා.

දැනට වසර කිහිපයක් තිස්සේම අපේ නිෂ්පාදකයන් වෙනම ප්‍රවර්ධන වැඩසටහන් කරගෙන ගියා අපේ දේ ගන්න කියලා. හැබැයි මේ කොරෝනා අර්බුදයත් එක්කම අපේ දේ ගන්න කියන දේ මිනිස්සු අතරින්ම එන්න පටන් ගත්තා. ඒ මතයට හරි වටිනාකමක් ලැබෙන්න පටන් ගත්තා. ඒ හරහා සමාජය තුළ අපේ දේවල් ගන්න ඕනේ කියන මතයක් ආවා. එතැනදී අපේ විදියට කෑම බීම අරගෙන, අපේම කියලා ක්‍රමවේදයක් හදන්න ඕනේ කියන තැනට මිනිස්සු ආවා.

මේ කොරෝනා නිසා රටේ බොහෝ ව්‍යාපාර බිහි වුණා?

අපි බැලුවොත් දැන් මිනිස්සුන්ගේ ආකල්ප මේ අවස්ථාව සඳහා හැදිලයි තියෙන්නේ. ඒ වගේම ජනතාවගේ උනන්දුවක් තියෙනවා අපි මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියලා. අද අන්තර්ජාලය හරහා වුණත් බොහෝ ව්‍යාපාර බිහි වෙලා තියෙනවා. අඩුම තරමින් භාණ්ඩ ඩිලිවරි සේවා පවා. ඊළගට පිටරටින් නිෂ්පාදන එන්නේ නැති නිසා දැන් විකල්ප භාණ්ඩවලට වෙළෙඳ පොළක් නිර්මාණය වෙලා තියෙනවා.

කොරෝනා කියන දෙයින් අපිට රටට අර්බුදයක් ඇති වුණා තමයි. සමාජයේ අර්බුදයක් ඇති වුණාම ඒ හරහා පැමිණෙන ගැටලුවලට පිළිතුරු හොයලා ඒ පිළිතුරෙන් ධනය උත්පාදනය කරන කෙනා තමයි ව්‍යවසායකයා. අපි හදන්නේ ව්‍යවසායක සංස්කෘතියක්. ඒ කියන්නේ සමාජයේ ගැටලුව වැඩිවීම ව්‍යවසායකයන්ට වැඩි අවස්ථාවක් උදා කරනවා. හැබැයි ඒ පුද්ගලයාගෙන් මේ ගැටලුව යොදා ගෙන ධනය උත්පාදනය කරනවා වගේම සමාජ සුභසාධනයක් සිදු වෙන්නත් ඕනේ.

උදාහරණයක් විදියට ගත්තොත් මේ පසුගිය කාලයේදී   තරුණයෝ භාණ්ඩ එහෙට මෙහෙට ඩිලිවරි කරලා දීලා, %බයිං ඇන්ඩ් සෙලිං^ කරලා ගොඩක් ආදායම් ඉපැයුවා. කෙසෙල් කැනක් අරගෙන ගිහින් විකුණනවා වගේ වැඩක් කළා. ඒ අවස්ථාව විවර වුණා. ගේ ළගට භාණ්ඩ එන පුරැද්දක් ඇති වුණා. තවමත් ඒ විදියට ගෙදරටම භාණ්ඩ ඩිලිවරි කරන සේවාව බලාපොරොත්තුව පිරිසක් ඉන්නවා.

මෙතැනදී තරුණයන් වැඩි වශයෙන් ව්‍යාපාරවලට යොමු වීමක් පෙනුනා නේද?

තරුණයෙක් යම් කිසි ආකාරයක ව්‍යාපාරයකට වට්ටාගන්න තමයි අමාරු. හබැයි මේ අර්බුදය නිසා තරුණයන් නිරායාසයෙන්ම ව්‍යාපාරිකයන් බවට පත් වුණා. දැන් බොහෝ සමාගම්වල වැටුප් කපලා. මෙතෙක් ලැබුණු ආදායම අඩු විම නිසා බොහෝ දෙනෙක් දැන් අමතර ආදායම් සොයන්න පටන් අරගෙන. ඒක හොඳ දෙයක් වුණා. මේ පුරුද්දට තව තව ව්‍යාපාරවලට ඔවුන් යොමුවෙනවා.

පසුගිය කාලයේදී තරුණයෝ මේ විදියට ඉදිරියට ආවේ නෑ. ඒ නිසා මම කියන්නේ මේ කොරෝනා අර්බුදය අස්සේ යම් ව්‍යවසායක නැමියාවක් රට තුළ හැදිලා තියෙනවා. ඒ නිසා කොරෝනා කියන්නේ අපේ රටේ ව්‍යාපාර පැත්තෙන් වෙස්වලාගත්ත ආශිර්වාදයක් බවට පත් කරගත යුතු දෙයක්.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඔවුන් ගැන බලන්නේ කොහොමද?

අපි වගේ ආයතන කල්පනා කරන්නේ මේ වගේ අයට කොහොමද උදව් කරන්නේ කියලයි. පසුගිය කාලයේදී අපි දැක්කා මේ දක්වා කිසිම ව්‍යාපාරයක් කරලා නැති අය වුණත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙයෙන් භාණ්ඩ ඩිලිවරි බලපත්‍රයක් ලබා ගන්න ඇවිත් ඉන්නවා. ඒ කියන්නේ මේ වෙලාවේ හම්බ කරන්න ඕනේ කියන ඉව තියෙන මිනිහෙක්. අපිට පුළුවන් නම් මේ පුද්ගලයාට කියන්න ඔය කාලයට විතරක් නෙමෙයි දැනුත් පුළුවන් නම් ඒ දේ කරන්න අපි ඒකට උදව් කරන්නම් කියලා ඒක ලොකු දෙයක් වේවි. සමහර විට ඔහුව සාර්ථක ව්‍යවසායකයෙක් කරන්න අපිට පුළුවන් වේවි.

අර්බුද කියන්නේ හැමදාම තියෙන දෙයක් නෙමෙයි. රට තුළ මුදල් සොයා ගැනීමේ අර්බුදයක් තියෙනවා. නැතිව නෙවෙයි. රජය වුණත් අමාරුකම් තියෙද්දීම පුළුවන් සහන ව්‍යාපාරිකයන්ට දීලා තියෙනවා.  බැංකු වුණත් කල්පනා කරනවා මේ වෙලාවේ දෙන ණය සැබෑවටම ව්‍යාපාරයට යෙදවෙයිද, නැත්නම් පරිභෝජනයට යෙදවෙයිද කියලා. හැබැයි හරි විදියට කල්පනා කරලා මේ මුදල් යොදවලා ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාර බොහෝමයක් තියෙනවා.

අපේ රටේ අනාගත ආර්ථිකය සකස් කරගත යුත්තේ කොහොමද?

මගේ විශ්වාසය තමයි අපිට කාර්මිකකරණයෙන් ඉදිරියට යන්න බැරි වේවි කියන දේ. අපි ගත්තොත් ලොකු රටක තියෙනවා විශාල ප්‍රමාණයේ කර්මාන්තශාලා. ඒවාට ඕනෑ කරන අංගෝපාංග හදන එක තමයි මේ කුඩා ව්‍යාපාරවලින් කරන්නේ. උදාහරණයක් විදියට දකුණු කොරියාවේ හුන්ඩායි, සැම්සුන්ග් වගේ නිෂ්පාදනවලට ගන්න ඇතැම් කොටස් නිපදවෙන්නේ නිවෙස්වලයි.

එතකොට මහා පරිමාණ කර්මාන්ත සහ කුඩා ව්‍යාපාර දෙකම රැකෙනවා. අපේ රටෙන් කොරියාවට යන හුග දෙනෙක් රස්සාව කරන්නේ මේ සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ. ඒ ක්ෂේත්‍රය හරි දියුණුයි. හැබැයි ලංකාවේ අපි දන්න විදියට එවැනි කර්මාන්තශාලා නැහැ. කර්මාන්තපුරයක් ආශ්‍රිතවත් අපිට තවම එහෙම දෙයක් නැහැ.

අනිත් පැත්තෙන් අපිට තියෙන්නේ කෘෂිකර්මාන්තය. හැබැයි එතකොට තියෙන ලොකුම අර්බුදය වගා කරන්න ඉඩම් නැති එක. ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව වගේ රටවල් එක්ක ගත්තම වුණත් අපිට වගා කරන්න ලොකු ඉඩක් නෑ. තරුණයෝ මේ වගේ ඉඩක් දෙන්න කියලා ඉල්ලුවට ඒ දේ කරන්න බැහැ. ඒ නිසා මේ සුළු ඉඩේ ‍වුණත් ගුණාත්මක දේ වැව්වොත්, එය හොද දෙයක් වේවි.

මේ අතරතුරදීම අපි රටේ නිෂ්පාදනය කෘෂිකර්මාන්තයෙන්, කර්මාන්තවලින් කොපමණක් දුරට ලබා ගන්නවාද කියන දේ කල්පනා කරන්න වෙනවා. ඒ වගේම රටේ ස්වභාව සුන්දරත්වයට හානි නොකර මේ දේ කරන්න වෙනවා.

සැබෑවටම රටේ අනාගත ආර්ථිකය මොන දිශාවට ගමන් කරාවිද?  

මම හිතනවා රටේ තව ඉස්සරහට දියුණු වෙන ප්‍රධානම ව්‍යාපාර සංචාරක කර්මාන්තය කියලා. හැබැයි ඒකට මේ ස්වභාව සෞන්දර්ය ආරක්ෂා කරගන්න වෙනවා. ඕනෑම වසංගතයකදී අපේ රට ආරක්ෂිතයි කියන දේත් දැනටමත් ඔප්පු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ කොවිඩ්19 අර්බුදය අවස්ථාවේදී අපට වෙච්ච බලපෑම වුණත් වෙනස් නේ. ලෝකයේ දියුණූ රටවල් ප්‍රබල ලෙස කොරෝනාවෙන් බැට කද්දී අපේ රට යම් පමණින් ආරක්ෂා වුණා. ඒ නිසා මම හිතනවා විද්‍යාත්මකව ඔප්පුවෙලා නැති වුණත්, යම් පමණකින් හෝ මේ වසංගතවලට ඔරොත්තු දෙන ස්වභාවයක් ලංකාවේ අපේ පරිසරයේ, අපේ ජානවල තියෙනවා.

ඒ නිසා මේ වගේ රටක් දැකගන්න, ඇවිත් යන්න මිනිස්සු ගොඩක් කැමති වේවි. ඒ නිසා ඉදිරියේදී සංචාරක කර්මාන්තය කියන දේ රටේ ඇති වේවි. ඒක අපිට පුළුවන් නම් ඉදිරියට ගෙනයන්න, අනාගතයේදී අපිට පුළුවන් හොඳ ආදායම් ලබන මාර්ගයක් බවට පත් කර ගන්න. එතැනදී දැනට රට තුළ ඉන්න සංචාරකයන් යොදවා ගෙන ඔවුන් මේ රටේදී ලබා ගත්ත අත්දැකීම් ගැන ලෝකයටම ප්‍රචාරයක් දෙන්න පුළුවන් නම් එය සාර්ථක අවස්ථාවක් වේවි.

මේ කරුණු සඳහා රටත් – ජනතාවත් වෙනස් විය යුතුයි නේද?

පැහැදිලිවම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සිට සමාගම්, ව්‍යවසාකයන් සහ සාමාන්‍ය මහජනතාව දක්වාම දැවැන්ත ආකල්පමය වෙනසක් සිදු විය යුතුමයි.

ඒ සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සැලසුම් මොනවාද?

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විදියට අපි දැන් මේ කරුණු හඳුනාගෙන වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කරනවා. එක උදාහරණයක් තමයි දැන් රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් යටතේ රටට ආනයනය සිමා කරලා තියෙන නිසා වෙළෙඳ පොළේ පාසල් බෑග් ඉල්ලුමට සැපයුමක් දෙන්න බැරි වේවි. ඒ නිසා අපි අපි මේ වනවිට රට පුරාම ඉන්න දේශිය පාසල් බෑග් නිෂ්පාදකයන් ගැන තොරතුරු රැස් කරලා, ඔවුන්ගේ ධාරිතාව කොහොමද කියලා බලලා මේ අවශ්‍යවන සැපයුම දෙන්න ඔවුන්ට පුළුවන්ද කියලා බලනවා.

රජයට පුළුවන් මේ ව්‍යවසාකයන්ට ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීම පිළිබඳ සුරක්ෂිතතාවක් ඇති කරලා ඒ නිෂ්පාදන ඔවුන්ගෙන් ලබා ගන්න. එතැනදී අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ආනයනය කරන්න ඕනෑනම් යම් සහනදායී ක්‍රමයකට වුණත් ආනයනය කරලා දෙන්න රජයට පුළුවන්.

මෙතැනදී මූලිකවම පළාත් මට්ටමින්, දිස්ත්‍රික්ක මට්ටමින් වගේම නගර මට්ටමිනුත් බෑග් මැසීමේ නිරත ව්‍යවසාකයන් එකට එකතු කරගෙන ඒ අවශ්‍ය ඉලක්කය සැපිරීමේ අවස්ථාවක් වෙත යන්න ඕනේ. මොකද මහා පරිමාණ කර්මාන්තශාලාවක සිදු වෙන දේම මේ විසිරුණු විශාල පිරිසක අතරේ සිදු වෙනවා.

අවසන් වශයෙන් කුඩා ව්‍යාපාර හිමිකරුවන්ට කියන්න තියෙන්නේ මොකක්ද?

කොරෝනා  – කොරෝනා කියලා කියව කියව ඉන්නේ නැතිව රටේ ව්‍යාපාරවලට විශාල දෙයක් කරන්න අපිට පුළුවන්. ඒ වගේම මේ සිද්ධ වුණු හැරවුම ව්‍යාපාර ගොඩනංවාගන්න යොදා ගන්න. ඒ සඳහා යම් පමණකින් හෝ උත්සාහයක් ගැනීමයි සිද්ධ වෙන්න ඕනේ. ඒ උනන්දුව උත්සාහ තියෙනවා නම් කුඩා ව්‍යාපාර අංශය සැමවිටම ඒ සඳහා සහයෝගය ලබා දෙනවා.

Hits: 490