රියදුරු බලපත්‍ර සැකසීම ලබන වසරේ සිට යුද හමුදාව යටතට?

ඉදිරියේදී රියදුරු බලපත් සකස් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පැවරීම සඳහා ඇති හැකියාව සොයා බැලීමේ සාකච්ඡාවක් ඊයේ (14දා) දිනයේදී ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු බව එම අමාත්‍යාංශය පවසයි.

2009 වසරේ සිටම පෞද්ගලික සමාගමක් වෙත පවරා තිබූ එම කොන්ත්‍රාත්තුව නිසා රටට හිමි විය යුතුව තිබූ විශාල මුදලක් විදේශයන්ට ඇදී යාම මෙලෙස එම කටයුතු යුද හමුදාව වෙත ලබා දීමට අදහස් කළ බව අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී තිබේ.

අමාත්‍යාංශය පවසන ආකාරයට මෙතෙක් විශාල මුදලක් ගෙවා පෞද්ගලික ආයතනයක් මගින් සකස් කරන ලද රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සිදු කර තිබේ. සාමාන්‍යයෙන් ජනතාවට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී ඒ සඳහා රුපියල් 1,340ක පමණ මුදලක් ගෙවීමට සිදු වෙයි. අදාළ පෞද්ගලික සමාගමද සිය කොන්ත්‍රාත්තුව වරින් වර දීර්ඝ කරමින් මෙම කටයුතු පවත්වාගෙන ආ බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ අනුව ඉතාමත් අඩු මුදලකට රියැදුරු බලපත්‍රයක් ලබාදීමත්, මෙතෙක් අප රටට අහිමි කළ විශාල මුදලක් රට තුළ ඉතිරි කර ගැනීමටත්, පෞද්ගලික සමාගමක් සතුවන රටේ තොරතුරු පද්ධතිය ආරක්ෂක අංශ වෙත රඳවා ගැනීමටත් හැකි වන බවත් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පවසා ඇත.

ඒ අනුව ලබන වසරේ සිට රියැදුරු බලපත් සකස් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවට පැවරීමට අවධානය යොමු කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා යුද හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව කමිටුවක් පත් කිරීමද අමාත්‍යවරයා විසින් සිදු කර තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති ආරක්ෂක ලේකම්වරයා, ඉතාමත් අඩු මුදලකට රියැදුරු බලපත්‍රය සකස් කිරීමට හැකි බව පවසා ඇත. එසේම රුපියල් 1,340ක් ඒ සඳහා වැය කිරීම අපරාධයක් බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

මේ අතර, යුද හමුදාවට කළ නොහැක්කක් නැති බවත්, මෙම රියදුරු බලපත් සකස් කිරීමේ කටයුතු ඉටු කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව සූදානම් බව යුද  හමුදාපතිවරයාද මෙහිදී පවසා තිබේ.

Views: 86