මහ බැංකු මුදල් මණ්ඩලයේ නව සාමාජිකයන්ගේ විස්තර

මුදල් නීති පනතේ 8 (2) (C) වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවේද අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නව සාමාජිකයන් ලෙස ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, ආචාර්ය රානි ජයමහ සහ සමන්ත කුමාරසිංහ යන මහත්ම මහත්මීන් පත් කර ඇතැයි මහ බැංකුව පවසයි.

ඒ අනුව ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා 2020 පෙබරවාරි 26 වැනි දින සිටද, ආචාර්ය රානි ජයමහ මහත්මිය සහ සමන්ත කුමාරසිංහ මහතා යන දෙපළ 2020 ජූනි 26 වැනිදා සිටද බලාත්මක වන පරිදි මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කෙරී තිබේ.

මේ අතරින් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා මුදල් මණ්ඩලයට පත් වූ ප්‍රථම ජනාධිපති නීතීඥවරයාද වෙයි. දැනට ඒ මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අවදානම් පිරික්සුම් කමිටුවේ සහ ආචාර ධර්ම කමිටුවේද සභාපතිත්වය දරන බව පැවසෙයි.

ඒ මහතාගේ පියාණන් වූ අභාවප්‍රාප්ත ස්ටැන්ලි ජයවර්ධන මහතාද 1989 මාර්තු 1 වන දා සිට 1994 සැප්තැම්බර් 12 දක්වා ශ්‍රී ලංකා මහ බැකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

ආචාර්ය රානි ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ සාමාජිකාවක ලෙස පත් වන විටත්, එහි විගණන උපදේශන කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කර ඇත. එසේම ඇය සීමාසහිත ඔවර්සීස් රියැලිටි (සිලෝන්) සමාගමේද උපායමාර්ගික අධ්‍යයන පිළිබඳ ප්‍රාදේශීය මධ්‍යස්ථානයේද මාර්ග ආයතනයේ පාලක සභාවේද අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන බව මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 38ක සේවාවකින් පසුව ඇය 2009 වසරේදී නියෝජ්‍ය අධිපතිවරියක ලෙස විශ්‍රාම ලබා තිබේ. එම අවස්ථාව වනවිට ඇය මූල්‍ය පද්ධති ස්ථායිතාව භාර නියෝජ්‍ය අධිපතිනිය ලෙස සේවය කරමින් සිට ඇත.

සමන්ත කුමාරසිංහ මහතා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ වියට්නාමය යන රටවල සමාගම් රැසක සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය හොබවන ප්‍රකට ව්‍යාවසායකයෙකු බව මහ බැංකුව සඳහන් කරයි. රූපලාවන්‍ය ද්‍රව්‍ය, රෙදිපිළි කර්මාන්තය සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය, සේදුම්කාරක, කාබනික ආහාර සහ ජීවවිද්‍යාත්මක පොහොර ආදී කර්මාන්ත අංශයේ සමාගම් රැසක් ඒ අතර වන බව සඳහන් වෙයි.

2008 වසරේදී වසරේ ව්‍යවසායකයා ලෙස සම්මානයටද පාත්‍ර වී ඇති සමන්ත කුමාරසිංහ මහතා, රටෙහි ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් දැක් වූ දායකත්වය අගය කරමින් 2019 දී ජනාධිපති ගෞරව සම්මානයකින්ද පිදුම් ලබා තිබේ.

Visits: 61