සුහුරුලිය සාමාජිකාවන්ට අන්තර්ජාලය ඔස්සේ ව්‍යවසායකත්ව පුහුණුව

කෝවීඩ් වසංගතයෙන් නැවත නැගී සිටීමේ කටයුත්තේදී විශේෂයෙන්ම මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමට සුහුරුලිය වැඩසටහන යටතේ පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

මේ අනුව සුහුරුලිය සාමාජිකාවන්ට ව්‍යවසායකත්ව පුහුණුව අන්තර්ජාලය (online)  ඔස්සේ ලබා දීම ආරම්භ කර ඇත.

මෙයට පෙර  මෙම පුහුණු කිරීමේ කටයුතු ක්ෂේත්‍රයට ගොස් සිදු කරනු ලැබුවත් නව කෝවිඩ් වසංගත තතත්වය හේතුවෙන් මෙම පියවර ගත් බව එම නියෝජිතායතනය පවසයි.

ඩිජිටල් තාක්ෂණය සහ සමාජ මාධ්‍යය ඵලදායී ලෙස යොදා ගනිමින් නිසි ‍‍වෙළෙද පොලක් සොයා ගැනීම පිළිබඳව මෙහිදී ව්‍යවසායකයින්ට පුහුණුව ලබා දෙනු ඇත.

මෙම පළමු  අන්තර්ජාල පුහුණු වැඩමුළුව ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින්ගේ සහභාගිත්වයෙන් නොබෝදා ආරම්භ කෙරුණු අතර ෆේස් බුක් ආයතනයේ සහායද ඊට ලැබී තිබිණි.

ඉදිරියේදී දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම කේන්ද්‍රකර ගනිමින් මෙම පුහුණු කිරීමේ කටයුතු සිදු කිරිමට නියමිතයි. මේ යටතේ කාන්තා ව්‍යවසායකයින්  එක්දහස් පන්සීයක් පමණ පිරිසකට මෙම පුහුණුව ලබා දීමට සුහුරුලිය වැඩසටහන යටතේ අපේක්ෂා කෙරේ.

මෙහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සිය ව්‍යපාර ප්‍රවර්ධනය කර ගැනීම සදහා ව්‍යවසායකයින්ට  ෆේස් බුක් පිටුවක් ද  නිර්මාණය කර දෙන අතර පුහුණු වැඩමුළුව සාර්ථකව අවසන් කරන ව්‍යවසායකයින් සදහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය යටතේ සහතික පතක්ද නිකුත් කෙරේ.

Visits: 62