අබාන්ස් පීඑල්සී, අබාන්ස් ඉලෙක්ට්‍රිකල් පීඑල්සී හි කොටස් මිලදී ගැනීමක

අබාන්ස් සමූහයට අයත් අබාන්ස් පීඑල්සී සමාගම මගින් එම සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී සමාගමේ කොටස් මිලදී ගැනීමක් සිදු කර ඇතැයි වාර්තා වෙයි.

2020 ජූනි 30 වැනිදා සිට 2020 ජූලි 03 වැනිදා දක්වා දින හතරක කාලයදී මෙම මිලදී ගැනීම් සිදුව තිබේ. එහිදී මිලදී ගෙන ඇති සමස්ත කොටස් ප්‍රමාණය 15,238 කි. එක් කොටසක් රුපියල් 80.00 ක මිලකට මෙම මිලදී ගැනීම සිදුව තිබේ.

ඒ අනුව 2020 ජූනි 30 වැනිදා රුපියල් 80.10 ක මුදලක් බැගින් කොටස් 10ක්, 2020 ජූලි 01 වැනිදා රුපියල් 80.00 ක් බැගින් කොටස් 651ක්, ජූලි 02 වැනිදා රුපියල් 80ක් බැගින් කොටස් 3,339 ක් සහ ජූලි 03 වැනිදා රුපියල් 80.00 බැගින් කොටස් 11,238ක් යනාදී ලෙස අබාන්ස් පීඑල්සී සමාගම අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සීහි කොටස් මිලදී ගැනීමක් සිදු කර තිබේ.

මෙහිදී අබාන්ස් සමූහයේ සභාපතිනි අබාන් පෙස්ටොන්ජී සහ බෙහ්මාන් පෙස්ටොන්ජී දෙපළ විසින් මෙම මිලදී ගැනීම සිදු කර තිබේ. ඔවුන් දෙපළම අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සීහි සහ අබාන්ස් පීඑල්සීහි විධායක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කරන බවත් පැවසෙයි.

අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී සමාගම නිෂ්පාදන, අලෙවියෙන් පසු සේවා සහ සූර්ය බලශක්ති ක්ෂේත්‍රය යනාදී ක්ෂේත්‍ර රැසක මෙහෙයුම් සිදු කරයි. ඒ අතරින් දේශීය වෙළෙඳපොළ වෙත රෙදි සෝදන යන්ත්‍ර, ශීතකරණ  යන්ත්‍ර නිෂ්පාදනය සහ එකලස් කිරීම සම්බන්ධයෙන් හොඳ පිළිගැනීමක් හිමි කරගෙන ඇතැයි අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී සමාගම පවසයි.

අද වනවිට අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී සමාගම සතුව ප්‍රාදේශීය ක්‍රියාත්මක සේවා මධ්‍යස්ථාන 14ක් පිහිටා ඇති අතර දිවයින පුරාම බලයලත් සේවා නියෝජිතයන් 70 කට අධික සංඛ්‍යාවක්ද සිටියි.

Views: 486