බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් අනුව මෙරට වටිනාම බහුජාතික සමාගම් සන්නාම

මෙරට තුළ සිය මෙහෙයුම් සිදු කරන බහුජාතික සමාගම් අතරින් අතරින් වඩාත් වටිනාම සන්නාම පිළිබඳ ලැයිස්තුවක් සකස් කරන්නට බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා සමාගම කටයුතු යොදා තිබේ. සිය බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් 100 වාර්ෂික වාර්තාව හරහා ඔවුන් මේ සන්නාම ලැයිස්තුව ඉදිරිපත් කර ඇත.

මේ සන්නාම අතර වැඩි වශයෙන් වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG – Fast Moving Consumer Goods) අයත්  සුප්‍රසිද්ධ සන්නාම පවතී. ඊට අමතරව දුරකතන සන්නිවේදන, මෝටර් රථ, බැංකු, භාණ්ඩ මෙහෙයුම්, තොරතුරු තාක්ෂණික සේවා, ඉදිකිරීම්, රක්ෂණ, ඉන්ධන සහ ගෑස් සහ ඖෂධ යන සමාගම් සන්නාම මේ අතර පවතී.

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනය මගින් සකස් කළ මෙරට වඩාත් වටිනාම සන්නාම පිළිබඳ දර්ශකය පළ කරමින් Media Services මගින් ප්‍රකාශයට පත් කරන BRANDS ANNUAL සඟරාවේ නවතම සංස්කරණයෙන් (2020 Edition) හි මේ පිළිබඳව පළ වී තිබේ. Media Services සමාගමේ ප්‍රකාශනයක් වන LMD සඟරාව සමගින් මෙවර බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් දර්ශකය ප්‍රසිද්ධියට පත් කිරීම සිදු වන්නේ නොකඩවා 17 වැනි වරට වීමද විශේෂත්වයකි.

මෙම දර්ශකයේ සඳහන් අන්දමට 2020 වසරේදී මෙරට වඩාත් වටිනාම බහුජාතික සමාගම් සන්නාමය වන්නේ යුනිලීවර් ශ්‍රී ලංකා සන්නාමයයි. FMCG කාණ්ඩයට අයත් එය හිමි කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 86.27 කි.

“යුනිලීවර් සමාගම සතු සන්ලයිට්, සිග්නල්, මාර්මයිට් සහ ලක්ස් යන නිෂ්පාදන මෙරට ජනතාව අතර වඩාත් ආදරයට පාත්‍ර වූ නිෂ්පාදන සන්නාම වෙනවා.” බ්‍රෑන්ඩ්ස් ෆිනෑන්ස් ලංකා පවසයි.

මෙම ලැයිස්තුවේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමි කර ගෙන ඇත්තේ මෙරට තුළ කිරි ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු තවත් නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරන නෙස්ලේ ලංකා සමාගම සහ ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා යන සමාගම්ය. FMCG කාණ්ඩයට අයත් එම සමාගම් හිමි කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව පිළිවෙලින් 82.59ක් සහ 82.43 කි.

මෙම දර්ශකයේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ දුරකතන සන්නිවේදන කාණ්ඩය යටතේ මෙරට ක්‍රියාත්මක බහුජාතික සමාගමක් වන ඩයලොග් ආසියාටා සමාගමයි. ඔවුන් හිමි කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 84.46 කි.

“බහුජාතික සමාගම් සිය ගෝලීය ජාලය සතු ශක්තිය හරහා ලැබෙන හැකියාවන් යොදා ගනිමින් සහ දේශීය සංස්කෘතිය වෙත අනුගත වෙමින් සිය මෙහෙයුම් සිදු කිරීම නිසා වඩාත් බලපෑම් සහගත සන්නාම බවට පත්ව තිබෙනවා. එසේම ඒ හරහා වඩා ඉහළ සාර්ථකත්වයක්ද ඔවුන් අත්පත් කරගෙන තිබෙනවා. යුනිලිවර්, ඩයලොග්, නෙස්ලේ සහ ෆොන්ටෙරා යන සන්නාම සතුව ඇත්තේ එම සත්‍යතාවයයි.” බ්‍රෑන්ඩ්ස් ෆිනෑන්ස් ලංකා සමාගම පවසයි.

මෙහි පස්වැනි ස්ථානය හිමිව ඇත්තේ ටොයොටා ලංකා සමාගමටයි. මෝටර් රථ කාණ්ඩයට අයත් වන එය හිමි කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 82.07 කි.

එසේම දර්ශකයේ හයවැනි ස්ථානය මෙරටට විවිධ උපාංග ආනයනය කෙරෙන 3M Lanka ආයතනය වෙත හිමිව තිබේ. එය ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 81.72 කි.

බැංකු ක්ෂේත්‍රය යටතේ කාණ්ඩ කෙරී ඇති හොංකොං ඇන්ඩ් ෂැංහැයි බැංකුව (HSBC) හත්වැනි ස්ථානයේ පසුවෙයි. එම සන්නාමය ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 81.63 කි.

මෙරටට ඖෂධ නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ නිරත ග්ලැක්සෝස්මිත්ක්ලයින් සමාගම අටවැනි ස්ථානයේ පසුවෙයි. ඔවුන් ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 81.14 කි.

මේ අතර ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණික සේවා සම්පාදනයේ කැපී පෙනෙන කටයුත්තක් සිදු කරන මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා සමාගම 2020 වසරේ වටිනාම බහුජාතික සන්නාම දර්ශකය අතරින් හිමි කරගෙන ඇත්තේ නව වැනි ස්ථානයයි. ඔවුන්ට හිමිව ඇති ලකුණු සංඛ්‍යාව 80.94කි.

ජෝන් කීල්ස් සමූහයේ සමාගමක් ලෙස ක්‍රියාත්මක වන භාණ්ඩ හුවමාරු මෙහෙයුම් සිදු කරන කාණ්ඩය යටතට ගැනෙන  DHL Keels සන්නාමය මෙම දර්ශකයේ 10 වැනි ස්ථානයේ පසුවෙයි. ඔවුන් ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 80.68 කි.

මෙම සන්නාමයන්ට අමතරව IBM, කොකාකෝලා බෙවරේජස් ශ්‍රී ලංකා, ඇක්සෝ නොබෙල් පේන්ට්ස් ලංකා, ඉන්සී සිමෙන්ති, ෂෙවරෝන් ලුබ්රිකන්ට්ස් ලංකා, AIA ඉන්ෂුවරන්ස් ලංකා, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව, බාටා ශ්‍රී ලංකා, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මෙන්ම රෙකිට් බෙන්කිසර් (ලංකා) යන සමාගම් මෙම වටිනාකම බහුජාතික සමාගම් සන්නාම ලැයිස්තුවේ මුල් 20 අතර පවතී.

“මෙම බහුජාතික සමාගම් දේශීය සන්නාම පරයමින් වඩාත් සාර්ථකවීමට හේතු වී ඇත්තේ ඔවුන්ගේ නිෂ්පාදන සතු සුවිශේෂීතාවයයි. එහිදී සුපිරි ගුණාත්මකභාවයක් මෙන්ම නවෝත්පාදන නිෂ්පාදන ඉදිරිපත් කිරීම සඳහා එම සමාගම් වෙත ඇති හැකියාව නිසා දේශීය සමාගම් වෙත එම නිෂ්පාදන හා තරග කරන්න බැරි වෙලා තිබෙනවා. මේ බහුජාතික සමාගම් දැවැන්තයි ඒ වගේම ඔවුන්ට විශාල අරමුදල් සම්පාදනයක්ද තිබෙනවා.  ඔවුන්ට එක් රටක සාර්ථකත්වය තවත් රටක් වෙත හුවමාරු කරන්නත් පුළුවන්.” බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා සමාගම පවසයි.

Visits: 417