BOI සහ ඩාර්ට් ග්ලෝබල් ලොජිස්ටික්ස් අතර ඩො. මි. 3ක එකඟතාවක්

මුතුරාජවෙල කර්මාන්ත කලාපය තුළ නවීනතම පහසුකම්වලින් සමන්විත භාණ්ඩ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා වන එකඟතාවකට ඩාර්ට් ග්ලෝබල් ලොජිස්ටික්ස් සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) අතර ගිවිසුම් අත්සන් තැබීමක් සිදු වුණු බව එම මණ්ඩලය සඳහන් කරයි.

මෙහිදී ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා සහ ඩාර්ට් ග්ලෝබල් ලොජිස්ට්ක්ස් සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජූඩ් විජේසුන්දර මහතා අතර සිදුව තිබේ. මෙම ආයෝජනයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 3 කි.

මෙම ආයෝජනයෙන් ඉදි කෙරෙන නව පරිශ්‍රය මගින් එකම වහලක් යටදී තෙවැනි පාර්ශ්වයේ භාණ්ඩ හ්‍රවමාරු ලොජිස්ටික් සේවා රැසක් වෙත පහසුකම් සැලසෙන බව ආයෝජන මණ්ඩලය පවසයි. 10,000ක් පමණ වන පැලට් ස්ථාන ධාරිතාවකින් යුත් ගබඩාවක් මෙන්ම නවීනතම ගබඩා කළමනාකරණ පද්ධතියක්ද ඒ තුළ පිහිටුවා ඇතැයි පැවසෙයි. එසේම නවීනතම භාණ්ඩ පරිහරණ උපාංග මෙන්ම ලොජිස්ටික් සේවා ඉතා හොඳ පුහුණුවක් ලැබූ වෘත්තිකයන් රැසකින්ද එය සමන්විත වන බවත් සඳහන් වෙයි.

හොංකොං නුවර පිහිටි  ඩාර්ට් එක්ස්ප්‍රස් ගෘප් සමූහයට අයත් ඩාර්ට් ග්ලෝබල් ලොජිස්ටික්ස් සමාගම 1983 වසරේදී මෙරට තුළ මෙහෙයුම් ආරම්භ කර තිබේ. ගෙවුණු කාලය තුළදී මෙරට මෙහෙයුම්හි සාර්ථකත්වයත් සමගින්ම ඉන්දියානු උප මහාද්වීපය තුළ සිය ව්‍යාපාර තවදුරටත් පුළුල් කිරීමට එම සමාගම කටයුතු යොදා ඇතැයිද එම සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 57