‘සෞභාග්‍යා -COVID-19 පුනරුද සහන‍’ ණය යටතේ ව්‍යාපාර 20,240කට ණය

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා රජයේ උපදෙස් මත ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ක්‍රියාත්මක ‘සෞභාග්‍යා-COVID-19 පුනරුද සහන’ ණය වැඩසටහන යටතේ මෙරට ව්‍යාපාර 20,240ක් සඳහා රුපියල් 53ක මුදලක් අනුමත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව 4%ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමය මෙරට බලපත්‍ර ලාභී බැංකු හරහා හඳුන්වාදී ඇත. ඊට අදාළ බැංකු ලැයිස්තුවක් සහ ලබා ගත හැකි ණය මුදල් පිළීබඳ තොරතුරුද මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම ණය පහසුකම් හරහා රටෙහි ආර්ථික කටයුතු නැවත නගා සිටුවීමට සහාය ලබා දෙනු ඇතැයි යන්න මහ බැංකුවේ විශ්වාසය වී තිබේ.  මෙහිදී සංචාරක, අපනයන හා ඒ ආශ්‍රිත ව්‍යාපාර හැර වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනයකට වඩා අඩු ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාර ඇතුළු ඕනෑම ව්‍යාපාරයක් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය සහන ලබා ගත හැකිය.

“මාස හයක් දක්වා උපරිම සහන කාලසීමාවක්ද ඇතුළත්ව මාස 24ක් දක්වා වූ ණය ආපසු ගෙවීමේ කාල සිමාවක් සඳහා 4%ක වාර්ෂික සහනදායී පොලී අනුපාතිකයක් යටතේ මෙම ණය ලබා දෙයි.” මහ බැංකුව පවසයි.

එසේම මම ණය යෝජනා ක්‍රමය යටතේ ණය අයදුම්පත්  2020 අගෝස්තු මස 31 දින දක්වා බැංකු ආයතන වෙත භාරදීම සිදු කළ හැකි බවත් මහ බැංකුව සඳහන් කරයි.

මෙහිදී අදාළ රුපියල් බිලියන 53ක මුදල අදියර දෙකක් යටතේ ලබාදීමට අදාළ වන ලෙස නම් කර ඇති වාණිජ බැංකු ලැයිස්තුවක් මෙන්ම, මෙම ණය යෝජනා ක්‍රමය අනුමත කෙරී ඇති අංශ අනුව විශ්ලේෂණයක්ද මහ බැංකුව මගින් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මෙම බැංකු අතරින් වැඩිම ණය මුදල අනුමත වී ඇති බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම්ව ඇති අතර, එය රුපියල් මිලියන 17,145කි. එසේම වැඩිම ප්‍රතිශතයක ණය ප්‍රමාණයක් අනුමත වී ඇති අංශය වන්නේ සේවා අංශයයි. එය 45% කි.

Views: 96