Fair & Lovely නම වෙනස් කිරීමට යයි

ජාත්‍යන්තර යුනිලීවර් සමාගමේ ඉන්දීය සමාගම වන හින්දුස්තාන් යුනිලීවර් (Hindustan Unilever) සමාගමට අයත්, සමෙහි දීප්තිය ඉහළ නංවන ආලේපන සන්නාමයක් වන ෆෙයාර් ඇන්ඩ් ලව්ලි (Fair & Lovely) හි නම වෙනස් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. ඒ අනුව ඉදිරියේදී ‘Fair’ හෙවත් ‘අඳුරු නැති පැහැපත්’ යන වචනය ඉන් ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයි සඳහන් වෙයි.

මෙම නිෂ්පාදනය හරහා අඳුරු සමක් සහිත පුද්ගලයන් පිළිබඳව ඍණාත්මක අදහසක් මතු කරවන බවට එල්ල වූ චෝදනා හේතුවෙන් හින්දුස්තාන් යුනිලීවර් සමාගම මෙම තීරණය ගෙන තිබේ. විශේෂයෙන්ම එක්සත් ජනපදය ඇතුළුව තවත් රටවල් රැසක් පුරා ක්‍රියාත්මක බ්ලැක්  ලයිව්ස් මැටර් නම් වර්ණභේදවාදයට එරෙහි උද්ඝෝෂණ මෙම තීරණය සඳහා හේතුව වී ඇත.

ඒ අනුව මින් ඉදිරියට Fair & Lovely නිෂ්පාදන මත ‘සුදු කරවන’ හෝ ‘දීප්තිමත්කරවන’ යන වචන සඳහන් නොකිරීමටත් තීරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් මෙහි අලුත් නම කුමක්ද යන්න හින්දුස්තාන් යුනිලීවර් සමාගම මෙතෙක් අනාවරණය කර නැත. මෙම නම වෙනස් කිරීම සඳහා ඉදිරියේදී නියාමන කටයුතු රැසක්ම සිදු කිරීමට එම සමාගම සිදුව ඇත.

අද වනවිට ඉන්දියාවද ඇතුළුව ආසියාකරයේ පාරිභෝගිකයන් අතර වඩාත් ජනප්‍රිය නිෂ්පාදනයක් බවට යුනිලීවර් සමාගමේ මෙම Fair & Lovely පත්ව තිබේ. පළමුව කාන්තාවන් සඳහා ඉදිරිපත් වූ මෙම නිෂ්පාදනය අද පිරිමින් සඳහාද ඉදිරිපත් වෙයි.

මේ තීරණය පිළිබඳව අදහස් දක්වන හින්දුස්තාන් යුනිලීවර්හි රූපලාවන්‍ය සහ පෞද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන අංශයෙහි ප්‍රධානී සනී ජෙයින් මහතා, “අපි වටහා ගෙන තිබුනේ ‘ෆෙයාර්’ කියන වචනය වගේම ‘සුදු’ සහ ‘දීප්තිය’ කියන වචනය සුන්දරත්වයේ තනි වචනයක් විදියටයි. හැබැයි අපි සිතාගෙන සිටි විදිය වැරදියි. ඒ නිසා අපි මේ ගැටලුවට පිළිතුරු සොයන්න ඕනේ.” යනුවෙන් පවසා ඇත.

හින්දුස්තාන් යුනිලීවර් සමාගමේ මෙම තීරණය බොහෝ දෙනෙකු විසින්ම අගය කර තිබේ. ඒ අතරින් 2014 වසරේදී මිස් ඇමෙරිකා කිරුළ දිනා ගැනීමට සමත්වූ පළමු ඉන්දියානු ඇමෙරිකානු සම්භවයක් සහිත තරුණිය වූ නිනා දවුලුරි මෙය විශාල ජයග්‍රහණයක් බවත්, එහෙත් එය ආරම්භයක් පමණක් බවත් ඇය පවසා ඇත.

එසේම ඇය මේ වනවිට යුනිලීවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇලන් ජෝප් වෙත විවෘත ලිපියක් ලියමින් මෙම ෆෙයාර් ඇන්ඩ් ලව්ලි නිෂ්පාදනයෙන් නවත්වන ලෙසද ඉල්ලා තිබේ.

Views: 111