කොවිඩ්-19 බලපෑවත් හරිස්චන්ද්‍ර මිල්ස් සේවක මුළු වැටුප්/බෝනස් ගෙව්වාලු

කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් සිය සිය මෙහෙයුම් කටයුතු සීමා කිරීමකට ලක්වී මුදල් ප්‍රවාහය වෙත බලපෑම් එල්ල වුවත් මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසයන්ට අදාළ සේවකයන්ගේ සම්පූර්ණ වැටුප මෙන්ම වාර්ෂික බෝනස් දීමනාද ගෙවීමට සිය අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බව හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගම පවසයි.

විශේෂයෙන්ම කොවිඩ් -19 වසංගතය හේතුවෙන් සිය නිෂ්පාදන සහ අලෙවි මෙහෙයුම් අඩාල වූයේ 2020 වසරේ සිය ව්‍යාපාරය සඳහා උපරිම අවස්ථාව පැවැති කාලයේදී බවද හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගම ලිපියක්  මගින් කොටස් වෙළෙඳ පොළ වෙත දන්වා සිටියි.

“මේ සීමාකිරීම් එලෙසින්ම පවතිද්දීත්, හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළා මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවලට අදාළව සේවකයන්ගේ මුළු වැටුපම ගෙවන්න. ඒ වගේම ඔවුන්ගේ වාර්ෂික බෝනස් දීමනාත් ගෙවීම සිදු කළා. ඊට අමතරව සේවකයන්ගේ සුභසාධනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වියළි සලාක බෙදා දීමක්ද අපි සිදු කළා.” මෙම ලිපියේ ඇතුළත් වෙයි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිය ව්‍යාපාර මෙහෙයුම් වෙත සිදුව ඇති බලපෑම හෙළිදරව් කරන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ සිය ලැයිස්තුගත සමාගම් වෙතින් කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගම මේ කරුණු සඳහන් කර තිබේ.

“මේ හේතුව නිසාම 2020 මාර්තු මාසයේදී සමාගම අත්පත් කරගත යුතු වූ අයවැය ප්‍රතිඵල සාර්ථක කරගැනීමට නොහැකි වුණා. කොහොම වුණත් අපගේ මෙහෙයුම් අතරින් කොටසක් 2020 අප්‍රේල් මාසය වනවිට යළිත් ආරම්භ කිරීමේ අවසරය ලබා ගන්නට අපට හැකි වුණා.” සමාගම පවසයි.

ඒ අනුව උද්ගත වූ මෙම තත්ත්වයත් සමගින්ම සමාගම වෙත අප්‍රේල් සහ මැයි යන මාසවලදී වඩාත් ශක්තිමත් මුදල් ප්‍රවාහයක් වාර්තා කරගැනීමට හැකියාව ලැබී නැත. විශේෂයෙන්ම ඇඳිරි නීතිය පැනවී තිබූ කාලසීමාවේදී සිය නිෂ්පාදන සඳහා අයවිය යුතු මුදල් එක් රැස් කරගැනීම මෙන්ම අලෙවි කණ්ඩායම් වෙත සිය මෙහෙයුම් සිදු කිරීමට නොහැකි වීම ඒ සඳහා දැඩිව බලපා තිබේ.

“කොහොම වුණත් අපි අපගේ මුදල් ප්‍රවාහ තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම අවධානයෙන් සිටිමින් 2020 ජූනි පළමු සතිය වනවිට සියලුම ආකාරයේ අයකරගැනීම් සම්පූර්ණ කර ගැනීමට හැකි වුණා. ඒ නිසාම සමාගම වෙත සැලකිය යුතු ද්‍රවශීලතා ගැටලුවකට මුහුණ දෙන්න වුණේ නැහැ. ඒ අතරම සමාගම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිරන්තරයෙන්ම සපයා ගැනීම සඳහා සැපයුම්කරුවන්ගේ සමගින් සමීපව කටයුතු කරනවා.”

මේ අතර, දැනට පවතින තත්ත්වය අනුව මෙම වසංගත තත්ත්වයේ ගෝලීය ව්‍යාප්තියත් සමග අනාගතයේදී ඇති විය හැකි බලපෑම පිළිබඳව තක්සේරුවක් කිරීම අසීරු වුවත්, සියලුම ආකාරයේ ආරක්ෂක මට්ටම් සහ පාලන ක්‍රමවේද යොදා ගනිමින් ලබන ජූලි මාසයේ සිට හෝ සිය සාමාන්‍ය ධාරිතාවයෙන් නිෂ්පාදන මෙහෙයුම් සිදු කිරීමට පියවර ගන්නා බවද හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

එසේම සමාගම සිය මුදල් ප්‍රවාහය සහ ද්‍රවශීලතා තත්ත්වය පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් සිටිමින් කටයුතු කරන බවත් අවශ්‍යතාව අනුව ප්‍රාග්ධනය සහ මෙහෙයුම් වියදම් වෙනස් කිරීමට පියවර යොදන බවත් කොටස් වෙළෙඳපොළ වෙත මෙන්ම සිය කොටස් හිමිකරුවන් වෙතත් දන්වා සිටියි.

Views: 747