ශ්‍රී ලංකන් යානයක් ආසන ගලවා භාණ්ඩ ප්‍රවාහනයට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය ශ්‍රී ලංකන් කාර්ගෝ භාණ්ඩ ප්‍රවාහන සේවය යටතේ විශේෂිත සේවා සැපයීමක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් 4R-ALS දරන එයාර්බස් A330-200 වර්ගයට අයත් ගුවන් යානයක මගී ආසන තාවකාලිකව ඉවත් කරමින් එය භාණ්ඩ ප්‍රවාහනය සඳහා සුදුසු ලෙස පත් කිරීමට කටයුතු යොදා තිබේ.

මේ පිළිබඳව අදහස් දැක් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයෙකු, දැනටමත් මෙරටට රැගෙන ඒමට නියමිත භාණ්ඩ රැසක් විවිධ රටවල ගොඩගැසී තිබීම සහ මෙරටින් අපනයනය කෙරෙන භාණ්ඩ රැසක්ම ගොඩගැසී තිබීම මෙලෙස ගුවන් යානයක් සම්පූර්ණයෙන්ම වෙනස් කර කාර්ගෝ සේවා සඳහා යොදා ගැනීමට හේතු ව වූ බව සඳහන්කරයි.

එහිදී බොහෝ විට මෙම ගුවන් යානය ස්ථිරවම කාර්ගෝ සේවා සඳහා යොදවා ගනු ඇතැයිද එම සේවකයා සඳහන් කළේය. ඒ අනුව මෙම සැලසුමේ ප්‍රතිඵලය ලෙස ඉදිරියේදී මෙම ගුවන් යානය ‘Sri Lankan Airlines Cargo’ සන්නාමය යටතේ සිය කාර්ගෝ මෙහෙයුම් සිදු කිරීම සඳහා යෙදවීමට සැලසුම් කර ඇත.

මෙතෙක් කලක් ශ්‍රී ලංකන් කාර්ගෝ සේවා සඳහා යොදා ගත් කිසිදු ගුවන්යානයක එම සන්නාමය සඳහන් කර නොමැති අතර, මෙම යානය තුළ එය ස්ථිරවම සඳහන් කිරීමක් සිදු කර තිබේ.

විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතයත් සමගින්ම ලොව පුරා මගී ගුවන් සේවා අඩාල වුවත්, භාණ්ඩ ප්‍රවාහන සේවා එලෙසින්ම ක්‍රියාත්මක වීම නිසා එම අංශය වෙත පෙරට වඩා වැඩි ඉල්ලුමක් ලැබී තිබේ. දැනටමත් ශ්‍රී ලංකන් කාර්ගෝ සේවාව මගින් මෙරට වෙත මෙන්ම තවත් රටවල් කිහිපයක් වෙතම භාණ්ඩ ප්‍රවාහන සේවා දියත් කරයි.

2018/19 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම උපයා ගත් රුපියල් මිලියන 180,340 ක ආදායමෙන් රුපියල් මිලියන 15,828 ක මුදලක් උපයා ඇත්තේ කාර්ගෝ සේවා හරහාය.  එම ආදායම්ද ආසන්න වසර කිහිපයේදී වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකන් කාර්ගෝ සමාගම සමත්ව ඇත.

Visits: 69